පුහුණු තරගවලට බාධාවක් නෑ
ඈෂ්ලි ද සිල්වා
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර පුහුණු තරග දෙකකට ක්‍රීඩා කිරීමට පෙරේදා (3) ඕමානය බලා පිටත් වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට එරට හමා ගිය ‘ශාහීන්’ සුළි කුණාටුව හේතුවෙන් සිය සංචාරය දිනකින් ප්‍රමාද කිරිමට සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් ගුවන් යානය ඊයේ (4) පස්වරු 1.30ට ඕමානය බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ‘දිනමිණ‘ට ප්‍රකාශ කළේය.
ඕමාන සංචාරය දිනකින් ප්‍රමාද වූවද එරට ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත් වීමට නියමිත පුහුණු තරග සඳහා මේ සුළි කුණාටුවෙන් කිසිදු බාධාවක් සිදු නොවනු ඇතැයි ඈෂ්ලි ද සිල්වා මහතා විශ්වාසය පළ කළේය.
‘දැනට නම් එවැනි තත්ත්වයක් පෙනෙන්නේ නෑ. නියමිත පරිදි පුහුණු තරග දෙක පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.‘ ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (3) පස්වරු 1.30ට ඕමානය බලා පිටත්වීමට නියමිතව සිටි අතර, ‘ශාහින්‘ සුළි කුණාටුව එරට මස්කට් අගනුවර සහ සෙසු පළාත් රැසකට දරුණු අන්දමින් බලපෑ බැවින් එම අවදානම මත එම ගුවන් වාරය එදින රාත්‍රී 10.30 දක්වා ප්‍රමාද කිරිමට සිදු විය. එහෙත් පසුව එම ගුවන් යානය ඕමානය බලා පිටත් වීම දිනකින් කල් දැමීමට සිදු වී තිබිණි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන ක්‍රිකට් කණ්ඩායම අතර පුහුණු තරග දෙක අනිද්දා (7) සහ 9 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ මස්කට් නගරයේ අල් අම්රත් ක්‍රීඩාංගණයේ වන අතර, එම තරග පැවැත්වීම ඉදිරි දින කිහිපය ඇතුළත ‘ශාහීන්‘ සුළි කුණාටුවේ හැසිරීම මත රඳා පවතින බව එරට ආරංචි මාර්ග සඳහන් කළේය.
ෆවුස් මොහොමඩ්