27.8 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලෝක දේශපාලන නායකයෝ පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරවුව ප්‍රතික්ෂේප කරති

ලෝක දේශපාලන නායකයෝ පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරවුව ප්‍රතික්ෂේප කරති

මුදල් විශුද්ධිකරණය, අයථා මුදල් රැස් කිරීම් හා බදු මුදල් ගෙවීම පැහැර හැරීම් ඇතුළු මූල්‍ය රහස් රැසක් සම්බන්ධව පසුගියදා ලොවට අනාවරණය වූ පැන්ඩෝරා පේපර්ස් නමින් හඳුන්වනු ලබන රහසිගත මූල්‍ය තොරතුරු වාර්තාව ඊට සම්බන්ධව බව කියන විවිධ රටවල දේශපාලන නායකයෝ සහ ජනප්‍රිය පුද්ගලයෝ රැසක් ප්‍රතික්ෂේප කරති.

බීබීසී, ගාඩියන්, රේඩියෝ ෆ්‍රාන්ස්, ඉන්ඩියන් එක්ස්ප්‍රස් ඇතුළු මාධ්‍යවේදීන් ඇතුළත් අන්තර්ජාතික විමර්ශන මාධ්‍ය සමූහය විසින් ලිපිගොනු මිලියන 11.9ක් ඇසුරින් සකස් කරනු ලැබූ මේ වාර්තාවට සම්බන්ධව බවට විවිධ රටවල හිටපු සහ වත්මන් රාජ්‍ය නායකයන් 35 දෙනකු චෝදනා ලබා සිටිති. මීට අමතරව රටවල් 91ක තවත් දේශපාලනඥයන්, ප්‍රකට පුද්ගලයන් සහ ක්‍රීඩකයන් ඇතුළුව 330කට වැඩි පිරිසක් එම වාර්තාව මගින් චෝදනා ලබා සිටිති.

රුසියාවේ නායක ව්ලැදිමීර් පුටින්ගේ නම මේ වාර්තාවට සෘජුවම ඇතුළත් නොවූවද ඔහුගේ සමීපතමයන් හරහා මොනාකෝ රාජ්‍යයේ රහසිගත දේපොළ පුටින් විසින් මිලදී ගනු ලැබූ බවට සිදු කර ඇති හෙළිදරව්ව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ප්‍රකාශ කරනු ලැබීය. මේ තොරතුරුවල කිසිදු විනිවිදභාවයක් දක්නට නොමැති බව කියමින් රුසියාවේ ජනාධිපතිවරයා එම වාර්තාව ප්‍රතික්ෂේප කරන බව රුසියානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් නිවේදනයක් මගින් කියා සිටියේය. පැන්ඩෝරා පත්‍රිකා ප්‍රසිද්ධ කිරීමෙන් පසු ඒ පිළිබඳ පළමුවෙන්ම ප්‍රකාශයක් නිකුත් කරනු ලැබූ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියා සිටියේ සිය ඇමති මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන්ගේ යැයි කියන රහසිගත මූල්‍ය තොරතුරු අනාවරණය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බවය. පැන්ඩෝරා පත්‍රිකා තුළින් අගමැති ඉම්රාන් ඛාන් මූල්‍ය වංචාවකට සම්බන්ධව බවට අනාවරණය නොවූවත්, ඔහුගේ රජයේ ඇමැතිවරුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ රහස්‍ය මූල්‍ය තොරතුරු රැසක් පැන්ඩෝරා පත්‍රිකා තුළින් අනාවරණය කර තිබේ.

පැන්ඩෝරා පත්‍රිකා වාර්තාවෙන් අනාවරණය කර ඇති චෙක් රාජ්‍යයේ අගමැති ඇන්ඩ්‍රිජ් බාබිස් පවුම් මිලියන 12ක් වැය කරමින් මිල දී ගෙන ඇතැයි කියන දකුණු ප්‍රංසයේ මන්දිර දෙකක් පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති අගමැතිවරයා එම චෝදනා එල්ල කර ඇත්තේ මේ සතියේ පැවැත්වීමට නියමිත එරට ව්‍යවස්ථාදායක මැතිවරණය ඉලක්ක කරමින් බවය. තමා කිසිදු අවස්ථාවක නීතිවිරෝධි හා වංචා සහගත සිදුවීම්වලට සම්බන්ධ නොවූ බව ඔහු සිය ට්විටර් පණිවුඩයෙන් ප්‍රකාශ කර ඇත.

මේ අතර කෙන්යාවේ ජනාධිපති උහුරු කෙනියටාගේ පවුලේ සාමාජිකයන් අන්තර්ජාතික සමාගම් රැසකට මුදල් ආයෝජනය කර ඇතැයි පැන්ඩෝරා පත්‍රිකා තුලින් කර ඇති අනාවරණය ප්‍රතික්ෂේප කරන ජනාධිපතිවරයා විනිවිදභාවයකින් සහ විවෘත භාවයකින් කටයුතු කරන කෙන්යා රජයට ගෝලීය වශයෙන් දිගු ගමනක් යා යුතුව ඇති බව සඳහන් කර තිබේ. මේ වනවිට විදෙස්ගතව සිටින කෙනියාටා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ නැවත කෙන්යාවට පැමිණිමෙන් පසු මේ පිළිබඳ ප්‍රතිචාර දක්වන බවය. එංගලන්තයේ පවුම් මිලියන 400කට වැඩි වටිනාකමක් සහිත දේපොළ ගනුදෙනුවකට සිය පවුලේ සාමාජිකයන් සම්බන්ධ බවට පැන්ඩෝරා පත්‍රිකා තුළින් නගා ඇති චෝදනා අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් තරයේම ප්‍රතික්ෂේප කර ඇති අතර, එවැනි කිසිදු ගනුදෙනුවකට සිය පවුලේ සාමාජිකයන් සම්බන්ධ නොවන බව සඳහන් කර ඇත. රජයට අයත් තඹ සහ යපස් ආකර සිය ළමා වියේ මිතුරකුට විකිණීමේ ගනුදෙනුවක් සම්බන්ධව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබස්තියන් පිනේරාට චෝදනා එල්ල වී ඇති අතර, එවැනි කිසිදු ගනුදෙනුවකට තමාගේ සම්බන්ධයක් නැති බව ඔහු ප්‍රකාශ කර තිබේ.