28.9 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ ජයග්‍රහණ පිපාසයකින් සිටින ශ්‍රී ලංකා පිලේ අන්තිම සටන...

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ ජයග්‍රහණ පිපාසයකින් සිටින ශ්‍රී ලංකා පිලේ අන්තිම සටන අදයි

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ජයග්‍රහණයක් සොයමින් සිටින ශ්‍රී ලංකා පාපන්දු පිල සත්කාරක මාලදිවයිනට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (10) පස්වරු 4.30ට මාලදිවයින් ජාතික ක්‍රීඩාංගණයට පිවිසෙයි. ශ්‍රී ලංකා පිල මෙවර පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ සහභාගී වන අවසන් තරගය මෙය වන බැවින් ‘ඉතිරි කරන්නට දෙයක් නොමැතිව කීර්තිය සොයන අන්තිම සටන’ ලෙස සලකා තරග වදිනු ඇත.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 205 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මේ ශූරතාවලියේදී එන්න එන්නම ප්‍රගතියක් පෙන්නුම් කරමින් ඉදිරියට ඇදෙන බැවින් මාලදිවයිනට එරෙහි පෙරැළිකාරී වෙනසක් කිරීම කාගේත් බලාපොරොත්තුව වී තිබේ. ශ්‍රී ලංකාව මේ තරගයේදී මාලදිවයින පරාජය කළ හොත් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ පියවර කිහිපයක් ඉදිරියට එනු ඇත. එයට හේතුව වන්නේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව 158 වැනි ස්ථානයේ සිටින බැවිනි. ඉහලින් සිටින පාපන්දු කණ්ඩායමක් පරාජය කිරීමට ලෝක ශ්‍රේණිගත කිරීමේ පහළින් සිටින කණ්ඩායමක් සමත් වුව හොත් ඉදිරියට ඒමේ වාසිය නිරායාසයෙන්ම ලැබීම එයට හේතුව වේ.

මාලදිවයින් පිල ද මෙවර ශූරතාවලියේ දස්කම් දක්වමින් සිටින අතර, පෙරේදා පැවැති තරගයේදී බංග්ලාදේශය ගෝල් 2-0කින් පරදවා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණියේය. එම තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් පළමු භාගයේ ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර, මාලදිවයින පිල ගෝල් රැස් කිරීමේ අවස්ථා සියල්ල අහුරා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මාලදිවයින් ආරක්ෂක වළල්ල කෙරෙහි විශේෂ වධානයක් යොමු කළ යුතු වේ.

එම තරගයේදී දඬුවම් පහරක් සාර්ථක කර ගෙන මාලදිවයින ජයග්‍රහණය තහවුරු කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක අලී අස්ෆාක් පාලනය කිරීම ශ්‍රී ලංකා ආරක්ෂක බළඇණියේ ප්‍රබල වගකීමක් වේ. අන්තර්ජාතික පාපන්දු තරග 83කට ක්‍රීඩා කොට ගෝල් 54ක් රැස් කර ඇති අෂ්ෆාක් මෙල්ල කර ගැනීමට සමත් නොවුණහොත් මාලදිවයින් ලකුණු පුවරුවට ගෝල් එක් වීම වළක්වාලිය නොහැකිය.

ශ්‍රී ලංකා පිලේ චලන චමීර, ඩිලෝන්, හර්ෂ, හැමිල්ටන් හා රාසීක් වැනි ක්‍රීඩකයන් පසුගිය තරග තුනේදී ක්‍රීඩා කිරීමෙන් අධික වෙහෙසට පත්ව ඇති අතර, ඔවුන් යථා තත්ත්වයට ගැනීමට විශේෂ උපක්‍රම කිහිපයක්ම යෙදවීමට ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරුවෝ ක්‍රියා කරමින් සිටිති. මේ ක්‍රීඩකයන් කිහිපදෙනා නිමා වූ තරග තුන්දී මාලදිවයින් ජාතික ක්‍රීඩාංගණය තුළ කිලෝමීටර් 35ක් පමණ දුර දිවගොස් ඇති අතර, එක් අයකුගේ දිවයෑමේ දුරෙහි සාමාන්‍ය කිලෝමීටර් 11ට ආසන්න වෙතැයි ගණන් බලා ඇත.

වසර 10ක පමණ කාලයකදී ශ්‍රී ලංකා පාපන්දු පිලක් එක දිගට අන්තර්ජාතික තරග 4කට ක්‍රීඩා කර නැති හෙයින් අඛණ්ඩ තරග සහභාගීත්වයකදී ඔවුන් තුළ ඇති දරා ගැනීමේ ශක්තිය පිළිබඳ ගැටලු මතුවීම සාමාන්‍ය දෙයක් බව පාපන්දු විචාරකයන්ගේ මතය වේ. මේ හේතුවෙන් තරගයේ මුල් මිනිත්තු 60ක කාලයෙන් පසු අතිරේක ක්‍රීඩකයන් 5ක් පමණ ක්‍රීඩා පිටියට කැඳවීමට සිදු වනු ඇතැයි විශ්වාස කළ හැක.

නේපාල තරගයේදී කහකාඩ් අවවාද දෙකක් ලැබීමෙන් එක් තරගයක් තහනම් වූ චමොද් ඩිල්ෂාන් මාලදිවයිනට එරෙහි තරගයට ක්‍රීඩා කරන හෙයින් ආරක්ෂක පෙළට අමතර ශක්තියක් එකතු වේ.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර, මේ දක්වා තරග 21ක් පවත්වා ඇති අතර එයින් මාලදිවයිනට තරග 7ක ජය හිමි වී ඇත. තරග 3කින් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර, තරග 9ක් ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ.

මේ ශූරතාවලියේ මෙතෙක් නිමා වූ තරග ප්‍රතිඵල අනුව නේපාලය සහභාගි වු තරග දෙකේම ජය ගෙන (ලකුණු 6) පෙරමුණේ සිටින අතර, බංග්ලාදේශය ලකුණු 4ක් සමඟ දෙවැනි ස්ථානයේ සිටී. මාලදිවයින තරග තුනකට සහභාගි වී ලකුණු සටහනේ තුන්වන ස්ථානයට පත්ව ඇති අතර, ඉන්දියාව එක් වූ තරග දෙකම ජය පරාජයෙන් තොර වී ලකුණු 2ක් ගෙන සිව්වැනි ස්ථානයේ පසු වේ. ශ්‍රී ලංකාව එක් ලකුණක් සමඟ සටහනේ පස්වැනි ස්ථානයේ සිටී.

 

ප්‍රින්ස් ගුණසේකර මාලදිවයිනේ සිට…