මේ මස 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේදී ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වන අවසන් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (10) නිවේදනය කළේය.
ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මින් පෙර නම් කළ සංචිතයේ වෙනස්කම් 4ක් සිදු කරමින් මේ නව සංචිතය නම් කර තිබේ. පහළොස් දෙනකුගෙන් සමන්විත එම සංචිතයේ නායකයා ලෙස දසුන් ශානකත්, උප නායකයා ලෙස ධනංජය ද සිල්වාත් නම් කර ඇත. පසුගිය මස 12 වැනිදා නම් කළ 15 දෙනාගෙන් සමන්විත සංචිතයෙන් ආබාධයක් හේතුවෙන් ළහිරු මධුෂංක ඉවත් කළ අතර, ඉතිරි 14 සමඟ අතිරේක ක්‍රීඩකයන් 4ක් සහ අමතර ක්‍රීඩකයන් 5 දෙනකු ඕමාන සංචාරයට එක් වූහ. කෙසේ වෙතත් මුලින් නම් කළ 15 දෙනාගෙන් මධුෂංක සමඟ කමිඳු මෙන්ඩිස්, නුවන් ප්‍රදීප් සහ ප්‍රවීන් ජයවික්‍රම ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර සිටි ළහිරු කුමාර, අකිල ධනංජය සහ බිනුර ප්‍රනාන්දු අලුතින් නම් කළ සංචිතයට කැඳවා තිබේ.
අමතර ක්‍රීඩකයන් අතරට එක්ව සිටි පැතුම් නිශ්ශංක ද ඊයේ නම් කළ සංචිතයට ඇතුළත් වීම විශේෂත්වයකි. ප්‍රදීප් මේ සංචිතයෙන් ඉවත් කර ඇත්තේ ද ආබාධයක් හේතුවෙන් බව වාර්තා වේ. එම නිසා වේග පන්දු යවන්නන් ලෙස ළහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
ලෝක කුසලාන තරගාවලියට එක් වන ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු.
නිරෝෂාන් ප්‍රියංකර