පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
ඉතිහාසයේ ප්‍රථම වරට (1950 මහ බැංකුව පිහිටුවීමෙන් පසු) ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් (සෘණ) මට්ටම කඩා වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ආර්ථිකයේ ඇත්ත පැත්ත පිළිබඳ කරුණු දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“නිල සංචිත ප්‍රමාණය ද පසුගිය වසර 11ක කාලයේ අවම අගය වාර්තා කර තිබෙනවා. මාස 06ක් ඇතුළත එක්සත් ජනපද ඩොලර් බිලියන 9කට අධික අරමුදල් ප්‍රමාණයක් සම්පාදනය කිරීමට ද, මාස 04කට සරිලන ආනයන භාණ්ඩ ගෙන ඒමට හැකි සංචිත ගොඩනැඟීමට ද මේ සැලසුම යෝජනා කරනවා.
අනෙක් අතින් තමන්ම සල්ලි අච්චු ගසා ඇති කළ උද්ධමනය පාලනයට සහ ආර්ථික ස්ථායීකරණයට පොලී අනුපාත ඉහළ දමන අතරේ, සියයට 6ක ආර්ථික වර්ධනයක් ඇති වේ යැයි ප්‍රකාශ කිරීම කවර ආර්ථික විද්‍යා න්‍යායකට අනුකූල වේ දැයි මහ බැංකුව තෝරා දිය යුතුයි. බලයෙන් පවත්වාගෙන යන ‘නිල’ විනිමය අනුපාතය සහ ඉවක් බවක් නැතිව සිදු කරන සල්ලි අච්චු ගැසීම නිසා ඇති වන උද්ධමනය විසින් ඉදිරි වසර කිහිපයේ ආර්ථික වර්ධනය තවත් අඩු වීමක් හෝ ඇතැම් විට සංකෝචනය වීමේ ඉඩකඩක් ඇති කරයි.
ජැක්ගේ මායා බෝංචි වැල නැතහොත් මහ බැංකුවේ සය මසක යෝජනාවලිය රටට විදේශ විනිමය ගෙන එන අපනයන ක්ෂේත්‍රවලට අයුතු චෝදනා එල්ල කර තිබෙනවා. අපනයනකරුවන්ගේ ආදායම් බලයෙන් අත්පත් කර ගැනීමට හා එයට අනුගත නොවන්නන්ට දඬුවම් දීමට යෝජනා කර තිබෙනවා. බලහත්කාරී ලෙස කෘත්‍රිමව විදේශ විනිමය අනුපාත පාලනය කිරීමෙන් අපනයනකරුවන්ට ලැබිය යුතු රුපියල් ආදායම් අසාධාරණ ලෙස අඩු කර ඇති මහ බැංකුව එයින් ඔබ්බට ගොස් අපනයනකරුවන්ගේ ආදායම අත්පත් කරගැනීමට මාන බැලීම අසාධාරණයි. එපමණක් නොව තරගකාරී විදේශ වෙළෙඳපොළ සමඟ පොරබදන අපේ අපනයන බිඳ දමන පියවරක්. අපගේ අපනයනකරුවන් වෙනත් විදේශ මූලයන් සොයා යෑමට දැනටමත් පියවර ගනිමින් සිටින්නේ ඒ නිසායි. “