28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅසාද් සාලිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

අසාද් සාලිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ( 11) අවසර දුන්නේය.

එම ක්‍රියාවලිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1),13(1),13(2) යන විධිවිධාන මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු විය හැකිය යන පදනම මත මෙම පෙත්සම විභාගයට ගැනීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් තීරණය කළේය.

පෙත්සම් විභාගය දෙසැම්බර් මස 15 වැනිදා ඇරඹීමට නියම විය. පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ඒවා නොවැම්බර් මස 19 දා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අධිකරණය නොතිසි ද නිකුත් කළේය.

නඩුවට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 19 වන දාට පෙර ගොනුකරන ලෙසද නියම කෙරිණ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණ.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති, පොලිස්පති, රහස් පොලිස් අධ්‍යක්ෂක නිෂාන්ත ද සොයිසා, එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, එම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නෙල්කා මැදගෙදර