පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල
දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ කණ්ඩායම් හැඟීම විසි වැනි සංශෝධනය හරහා මුළුමනින්ම අහෝසි වී ගිය බවත්, එයින් අඩුපාඩුකම් සිදූ වූ බවට විධායකය පවා පිළිගෙන ඇති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (11) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.
“පසුගියදා යුරෝපා හවුලේ නියෝජිතයන් හමු වුණා. එහිදී ඔවුන් පැහැදිලිව කියූ දෙයක් තමයි, මේ රජය යහපාලන ආණ්ඩුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රටත්, ජනතාවත් ගත් ජයග්‍රහණ එකින් එක මේ ආණ්ඩුව ආ පස්සට හරවන බව. ඇත්ත වශයෙන්ම අපි පුදුම වුණා, ඔවුන් මේ ලංකාවේ සිදු වන හැම දෙයක්ම අපටත් වඩා හොඳින් අධ්‍යයනය කර තිබීම ගැන. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මේ රටේ බලය විවිධ පුද්ගලයන් අතට පත් කළා. එහිදී අගමැතිවරයාට බලය තිබුණා. කැබිනට් එකට බලය තිබුණා. පාර්ලිමේන්තුවට බලය තිබුණා. ස්වාධීන කොමිෂන්වලට බලය තිබුණා. ව්‍යවස්ථාදායක සභාවට බලය තිබුණා. මේ සියල්ලටම බලයදී තිබුණා. නමුත් 20 වන සංශෝධනයෙන් පසුව විමධ්‍යගත කළ බලතල සියල්ල ම ජනාධිපතිවරයා අතට අරගෙන. අද අපේ රටේ ප්‍රශ්නවලට මුල ඒකයි. කණ්ඩායමක් හැටියට මේ රජය වැඩ කරන්නේ නෑ. 19 වන සංශෝධනයෙන් ගත් ජයග්‍රහණ කිව්වාම මේ රටේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම පමණක් නොවෙයි, නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්න අප කටයුතු කළා.”
පහන් විජේසේකර