30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොකී නිලවරණයෙන් කමල් පුෂ්පකුමාරට නිතරග ජයක්

හොකී නිලවරණයෙන් කමල් පුෂ්පකුමාරට නිතරග ජයක්

හොකී සම්මේලන නිලවරණයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා සභාපතිධුරයට නිතරගයෙන් පත් විය. ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ඊයේ පෙරවරු පැවැති හොකී සම්මේලන නිලවරණයේ සභාපතිධුර අපේක්ෂකයකු වූ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ කුමාර දිසානායක මහතා සහ ඔහුගේ පාර්ශ්වය නිලවරණය ව්‍යවස්ථාවට පටහැනි බව කියමින් අවසන් මොහොතේ ඉවත් වූ අතර, කමල් පුෂ්පකුමාර මහතාගේ පාර්ශ්වය සියලු තනතුරු සඳහා නිතරගයෙන් තේරී පත් විය. හොකී සම්මේලන නිලවරණය කල් දමන ලෙස සභාපතිධුර අපේක්ෂක රෝහණ කුමාර දිසානායක මහතා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.

හොකී සම්මේලන ව්‍යාවස්ථාවට අනුව සාමාජික සංගම් 16ක් මෙවර නිලවරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටියේය. එහෙත් මාතලේ සහ ගම්පහ හොකී සංගම් නිලවරණයට සහභාගි නොවූ අතර, කොළඹ සහ වෙළෙඳ සේවා හොකී සංගම් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව ඊයේ පැවැති හොකී නිලවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 36ක් වූ අතර, නව හොකී සභාපතිවරයා ලෙස කමල් පුෂ්පකුමාර මහතා තේරී පත් වූයේ ඡන්ද 31ක් හිමි කර ගනිමිනි. පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් හොකී සහ ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් පෑ කමල් පුෂ්පකුමාර මහතා ජාතික හා අන්තර්ජාතික මට්ටමේ කැපී පෙනෙන දස්කම් පෑ ක්‍රීඩකයෙකි. 2019 වසරේ එංගලන්තයේ පැවැති පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගනු ලැබුවේ ඒ මහතාගේ නායකත්වය යටතේය.

හොකී සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය මෙසේය.

සභාපති – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර, උපසභාපතිවරු (4) – ඩී.විජේසිංහ, ආර්. මහේෂ්වරන්, ඩබ්.එම්.පී. ප්‍රනාන්දු, ජී.ඩී.මදියලගන්, ලේකම් – පී.විශ්වනාදන්, උපලේකම් – බී.එම්.ඩී.ටී.බී. බස්නායක, භාණ්ඩාගාරික – කේ. ජෙයරත්නම්, උපභාණ්ඩාගාරික – ජී.එස්. කපුකොටුව

ෆවුස් මොහොමඩ්