23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දියාව බලාපොරොත්තු ඉහළ දමා ගනී

ඉන්දියාව බලාපොරොත්තු ඉහළ දමා ගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඉහළ දමා ගැනීමට ඉන්දියාව ඊයේ රාත්‍රියේ සමත් වූයේ මෙවර තරගාවලියේ පළමු ජය වාර්තා කරමිනි.

ඇෆ්ගනිස්තානය සමඟ අබුඩාබිහිදී පැවැති තරගයෙන් ඉන්දියාවට ලකුණු 66ක ජයක් හිමි වූ අතර, ඇෆ්ගනිස්තානයට අත් වූයේ දෙවැනි පරාජයයි.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල කඩුලු 2ක් දැවී ලකුණු 210ක් රැස් කළේ මෙවර තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සටහන් කරමිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානයට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වුයේ ලකුණු 144ක් පමණි.

නායක මොහොමඩ් නබි (35) සහ කරීම් ජනට් කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විණි. දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 38කින් ලකුණු 57ක් රැස් කළ අතර, නබි දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. ඉනිම නිමා වන තෙක් පිටියේ රැඳී සිටි කරීම් පන්දු 22කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 42කි.

රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල් පළමු කඩුල්ලට ගොඩනැඟූ සාර්ථක සබඳතාවෙන් (140) පසු රිෂාබ් පාන්ට් සහ හර්දික් පාණ්ඩ්‍යා පන්දු 21කින් එක් කළ ලකුණු 63 හේතුවෙන් පහසුවෙන්ම ලකුණු 210 සීමාවට පිවිසීමට ඉන්දීය පිලට හැකි විය.

ශර්මා පළමු කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 74ක් රැස් කර තිබුණේ පන්දු 47කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය. පන්දු 48කට මුහුණ දුන් රාහුල් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 69ක් රැස් කළේය. වේගවත් ඉනිමක් දියත් කළ පාණ්ඩ්‍යා පන්දු 13කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 35ක් සහ පාන්ට් පන්දු 13කින් නොදැවී ලකුණු 27ක් ඉනිමට එක් කළහ.

ඉන්දියාව – 210/2 (ඕවර 20) රෝහිත් ශර්මා 74, ලෝකේෂ් රාහුල් 69, හර්දික් පාණ්ඩ්‍යා නොදැවී 35, රිෂාබ් පාන්ට් නොදැවී 27

ඇෆ්ගනිස්තානය – 144/7 (ඕවර 20) කරීම් ජනට් නොදැවී 42, මොහොමඩ් නබි 35 (මොහොමඩ් ෂාමි 32/3)