මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන් සඳහා පොදු පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ලෙස සකස් කළ ටොම්ලින් උද්‍යානය සහ නාගරික රථගාල මත ඉදිකළ පොදු පහසුකම් උද්‍යානය විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (08) සිදුකිරීමට නියමිතය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘සියක් නගර’ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම රථගාල හා පොදු පහසුකම් මධ්‍යස්ථානය ඉදිකර තිබේ. ලෝක බැංකු සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ මහනුවර, ගාල්ල සහ යාපනය යන නගර සංවර්ධනය කිරීම සිදුකෙරේ.
මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රථවාහන තදබදය අඩුකිරීම සඳහා ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීම, මහනුවර නාගරික ජල සම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම, නාගරික වැසි ජල අපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ නාගරික පොදු පහසුකම් වැඩිදියුණු කිරීම සිදුවේ.
මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන් සඳහා ඉදිකර ඇති මෙම නාගරික රථගාල තුළ වාහන 700ක් නවතා තැබීමේ පහසුකම් ඇති අතර මෙමඟින් මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කිරීම ද සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.
ටොම්ලින් උද්‍යානය වන්දනාකරුවන්ට විවේක ගැනීම සඳහා කාමර පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සහ වෙළඳකුටි 16 කින් සමන්විත වේ.
රථගාල සහ පොදු පහසුකම් උද්‍යානය දේශීය ආහාර වෙළදාම් කිරීමේ පහසුකම්, මහනුවරට ආවේණික පාරම්පරික ද්‍රව්‍ය ප්‍රදර්ශනය සහ වෙළදාම් කිරීම සඳහා වන වෙළඳ කුටි 100 කින්, සංස්කෘතික සංදර්ශන වැනි දෑ පැවැත්වීම සඳහා වේදිකාවක් සහ ආසන 600 ක් සහිත විවෘත ස්ථානයක් ආදියෙන් සමන්විත වේ.