මාධ්‍යවේදියා - 10:01


English English සිංහල සිංහල

 

කොළඹ මුහුදේ මිනී කන කිඹුලා

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

ශ්‍රී ලංකාව අවට මුහුදේ කොරල් පර සහ අවට ගැවසෙන විසිතුරු මසුන් අල්ලා අපනයනය කිරීම කලෙක පටන් ම පැවත එන කර්මාන්තයකි. දෙහිවල වැල්ලේ දුම්රිය ස්ථානයට යාබදවම සිටි ඩැරල් ෆ්රයර් මුහුදෙන් අල්ලන විසිතුරු මසුන් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන්නේ විසි පස් වසරක් සිටය. දෙහිවලින් මදක් දියඹ දෙසට වන්නට ඇති වැලි පරය ආශ්‍රිතව බෝවන විසිතුරු මසුන් අල්ලා මෙම මධ්‍යස්ථානය වෙත දෙන කිමිදුම් කරුවෝ කිහිප දෙනෙක් සිටිති. ඒ අතරින් ‘ජයන්ත’ ලෙස මිතුරන් අතර ජනප්‍රිය, 58 හැවිරිදි සෝමසිරි පිරිස් මෙහි පැරණිම සාමාජිකයෙකි.

රත්මලානේ සුනාමි නිවාස සංකීර්ණයේ පදිංචි ජයන්ත සාමාන්‍යයෙන් උදෑසනම දෙහිවල විසිතුරු මසුන් මධ්‍යස්ථානයට පැමිණ, කිමිදීමට උපයෝගී කරගන්නා උපකරණ හැද පැලඳ මුහුදට ගොස්, නැවත 10.30 පමණ වන විට අල්ලා ගත් විසිතුරු මසුන් ද රැගෙන ගොඩට එන්නේය. නමුත් පසුගිය තුන් වැනිදා වෙනදා මෙන් ම ‘මුහුදු රස්සාවට’ ගිය ජයන්ත ගොඩට ආවේ නැත. ඒ වෙනුවට ඔහුගේ මිතුරන්ට සිදුවූයේ දැවැන්ත කිඹුලෙකුගේ ග්‍රහණයට හසුවී සිටි ජයන්තගේ සිරුර අසීරුවෙන් ගොඩට ගෙන ඒමටයි. වහාම කළුබෝවිල රෝහලට ඇතුළත් කළත්, ඒ වනවිටත් ජයන්ත ගේ අවසන් හුස්ම, දෙහිවල මුහුදේ කරදිය සුවඳට මුහුව තිබිණ.

“මම අපේ සෙන්ටර් එකට එන කොට උදේ 10ට විතර ඇති. ඒ එනකොට හැමෝම වැල්ලට වෙලා බලා ගෙන හිටියේ මුහුදේ පාවෙමින් හිටි කිඹුලෙකු දිහා. කිඹුලා හිටියේ අඩි 10ක් වත් ගැඹුර නැති වැල්ලට ආසන්න තැනක. ටික වෙලාවකින් කව්දෝ දැක්ක කිඹුලා කටින් මොනවා හරි ඩැහැගෙන ඉන්නවා. හොඳින් බලද්දී, ඒ අල්ලාගෙන ඉන්නේ මනුස්සයෙක් කියල දැක්ක අපි කලබල වෙලා, වැල්ලට එමින් තිබුණ සංචාරක කිමිදුම්කරුවන් රැගත් බෝට්ටුවකට ඒ දෙසට එන්නට සංඥා කළා. ඔවුන් තමයි මුලින්ම තහවුරු කළේ මේ කිඹුලා අල්ලාගෙන ඉන්නේ කිමිදුම්කරුවෙක් කියල” එසේ කීවේ දෙහිවල විසිතුරු මසුන් එකතු කිරීමේ මධ්‍යස්ථානයේ ඩැරල් ෆ්රයර්ය.

උදෑසන මුහුදට ගිය කිමිදුම්කරුවන් ගැන ඩැරල් වහා සොයා බැලු අතර, වෙනදා මේ වන විට ගොඩබිමට ඇවිත් ඉන්න ජයන්ත පෙනෙන්නට නොමැති වීම ඔවුන් ගේ සැකයට බඳුන් විය. මේ වනවිට ඒ අසල බෝට්ටුවක සිටි කොළඹ දිස්ත්‍රික් විසිතුරු මසුන් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති, ‘කළු මහත්තයා’ ලෙස හඳුන්වන රංජිත් සිල්වා ද බෝට්ටුවකින් මෙතනට පැමිණියේය. ඔහු ආ බෝට්ටුව දැක කලබල වූ කිඹුලා, සිය ගොදුරද රැගෙන කිමිදෙමින් ඉදිරියට ගියේය.

“වතුර යට සිරුර අරන් යද්දි හරි දුකයි දකිනකොට. යට අරන් යනවා ආය උඩ එනවා – කිඹුලා උත්සාහ කළේ අපිව මග ඇරලා සිරුරත් අරන් යන්න. මං බෝට්ටුව කිඹුලා ළඟටම ගෙනැල්ල කිඹුලා ගේ ඇඟට පැටලෙන්න බෝට්ටුවේ තිබුණ ඇන්කර් (නැංගුරම) එක දාලා බෝට්ටුව වේගයෙන් ඉස්සරහට ගියා. ඇන්කර් එක පැටලුණාම කිඹුලා බොඩි එක අතඇරලා වෙන පැත්තකට පීනාගෙන ගියා. බොඩි එක මතු වුණ ගමන් ම, මම ඉක්මනින් බොඩි එක බෝට්ටුවට දාගෙන ගෙනල්ලා කළුබෝවිල හොස්පිටල් එකට අරන් ගියා” මෙසේ පැවසුයේ රංජිත්ය.

“ජයන්ත ගේ උරහිසින් තමයි කිඹුලා අල්ලලා තිබුණේ. ඒක නිසා ශක්තිමත් පුද්ගලයෙක් වුණත්, ජයන්තට මුකුත් කරගන්න බැරි වෙන්න ඇතැයි රන්ජිත් පැවසීය. මෙම අනතුරෙන් කම්පනයටත්, බියටත් පත් දෙහිවල අවට වැල්ල ජීවිකාව කරගත් ජනතාව එක හඬින් ඉල්ලා සිටියේ මේ කිඹුලා අල්ලා වෙනත් තැනකට ගොස් දමනා ලෙසයි.

මේ සිදුවීම වාර්තා වීමත් සමග එහි පැමිණි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රදේශවාසී ධීවරයන්ගේ සහ නාවික හමුදාවේ සහාය සහිතව කිඹුලා සොයා ගැනීමට උත්සාහ කළත්, සවස් වන විට කිඹුලා සිටින ඉසව්වක් සොයා ගැනීමට නොහැකි විය. ඉන් පසු දිනයේ දී ද සෙවීමේ මෙහෙයුම් දියත් කළද, එය අසාර්ථක විය. කිඹුලා නැවතත් පැමිණි ඉසව්වටම යන්නට ඇතැයි වනජීවී නිලධාරීහු කීහ. මේ සිද්ධියෙන් රටම කලබලයට පත් වූයේ කිඹුලෙක් මිනිසකු ඩැහැගෙන යාම නිසා​ නොවේ.

කිඹුලා සාමාන්‍යයෙන් ඉන්නේ වගුරු බිම්වල සහ ගංගාවලය. එසේ කරදිය පිරුණු මුහුදේ කිඹුලකු දැකීම බොහෝ දෙනා පුදුමයකට පත් කරවන්නක් විය. එහෙත් මීට පෙරත් කිහිප අවස්ථාවක දීම දෙහිවල, වැල්ලවත්ත, කොල්ලුපිටිය මෙන්ම වරාය අසල මුහුදේදීද කිඹුලන් සිටියදී හමුවී තිබේ. 1999 දී මොරටුව අසල මුහුදේදී මාළු දැලකට කිඹුලෙකු පැටලුන අතර, ඊට අමතර 2012 සහ 2015 දී මේ අවට මුහුදු තිරයේදී කිඹුලන් සිටි වග අසන්නට දකින්නට ලැබුණි.

මීට පෙර දෙහිවල මේ ප්‍රදේශයේදීම කිඹුලන් දුටුවත්, උන් කිසිදු කලබලයක් කර තිබුණේ නැත. 2012 දී කිඹුලා වාර්තා වූයේ ගල්කිස්සේ සිට වාර්ෂිකව පැවැත්වෙන හැතැප්ම දෙකේ මුහුදු පිහිනුම් තරගයක් ආසන්නයේ දීමය. කිඹුලා සිටිය ද සංවිධායකයන් එම තරගය සැලසුම් කළ දිනයට පැවැත්වූ අතර කිසිදු අනතුරක් නොවිණි. මීට වසර කිහිපයකට පෙර කිඹුලකු දුටු අවස්ථාවේ වතුර යට නිසොල්මනේ කොටයක් මෙන් සිටි කිඹුලා ගේ උඩින් පවා මිනිසුන් පිහිනා ගිය බවත්, ඒ අවස්ථාවල කිසිදු හානියක් නොකළ බවත්, ඩැරල් පැවසීය.

කොළඹ අවට මුහුදු තිරයේ කිඹුලන් දැකීම පුදුමයක් නෙමෙයි. හුඟ දෙනෙක් නොදැන සිටියත්, කොළඹ අවට තෙත්බිම් හා ඇළ මාර්ගවල කිඹුලන් ජීවත් වෙති. මේ කිඹුලන් වැල්ලවත්ත, දෙහිවල ඇළ මාර්ග හරහා නිතර මුහුදට එන බව උරග විශේෂඥයෝ පවසති. ලංකාවේ කිඹුලන් වර්ග දෙකක් ජීවත් වන්නෝය. කොළඹ අවට දකින්නට ලැබෙන්නේ ගැට කිඹුලන්. ඉංග්‍රීසියෙන් ‘saltwater crocodile’ කියල හඳුන්වන මේ කිඹුලන්, නමින් කියවෙන පරිදිම saltwater වල එහෙමත් නැත්නම් කරදියේ ජීවත් වෙන්න පුළුවන්, බව අප සමග පැවසුයේ ලංකාවේ උරගයන් පිළිබද විශේෂඥයකු වූ, දකුණු ආසියානු කලාපයේ කිඹුලන් පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති ආචාර්ය අන්ස්ලම් ද සිල්වාය.

මේ වැල්ලවත්ත, දෙහිවල ඇළ මාර්ගවල ඉන්න කිඹුලන්, ඊට කිලෝමීටර කිහිපයක් දකුණින් පිහිටි පානදුර ඇළ, බොල්ගොඩ වැනි ජල මාර්ගවලට සංක්‍රමණය වෙන්න මුහුදු මාර්ගයක් යොදා ගන්නා බව ආචාර්ය ඇන්සලම් පැවසීය. ත්‍රිකුණාමලයේ වරාය ඔබ්බෙන් ගැට කිඹුලන් වාර්තා වී තිබුණි. දකුණු පළාතේ වලවේ ගඟේ සිට නිල්වලා ගඟ මුහුදට වැටෙන ස්ථානය දක්වා මුහුද ඔස්සේ පිහිනා එන කිඹුලන් ගැන ද අතීත වාර්තා තිබේ. ආචාර්ය ඇන්සලම් පැවසුයේ ඉන්දියාවේ මදුරාසිය අසල මුහුදේදී මීට වසර කිහිපයකට පෙර වාර්තා වුණු කිඹුලෙකු, ලංකාවේ සිට පිහිනා ගිය එකෙකු බවයි.

ප්‍රධාන කොටම මාළුන් ආහාරයට ගන්නා මේ කිඹුලන්, මුහුදේදී අහාර ගැනීමට පෙලඹෙන්නේ නෑ. සාමාන්‍යයෙන් කිඹුලෙක් පහර දෙන්නේ තමන්ගේ ආරක්ෂාවට හෝ ආහාරයක් පිණිස ගොදුරක් අල්ලා ගැනීමට. මේ දෙහිවල දී වුණු දේ ඉතාමත් අසාමාන්‍ය දෙයක් බව පැවසුයේ කිඹුලන් පිළිබඳ පර්‌යේෂණ පවත්වන තවත් විශේෂඥයකු වූ ඩිනාල් සමරසිංහයි. ගැට කිඹුලා සාමාන්‍යයෙන් වසමක් ආරක්ෂා කරනවා – ඒ කියන්නේ, ඌ ඉන්න ප්‍රදේශයට තවත් වැඩුණු කිඹුලෙකුට එන්න දෙන්නේ නෑ. ඉතින් වයසින් වැඩෙන කොට, අලුත් වසමක් සොයා ගැනීමට යන ගමනේ දී මුහුදටත් එන්න ඉඩ තියෙනවා, ඩිනාල් අප සමග පැවසීය.

ගැට කිඹුලා තමයි ලෝකයේ දැනට ඉන්න විශාලම උරගයා. පිරිමි ගැට කිඹුලකු අඩි 20ක් පමණය. මීටත් වඩා දිගින් වැඩි ගැට කිඹුලන් ශ්‍රී ලංකා වේ ද වාර්තාවේ.ගැහැනු ගැට කිඹුලා මීට වඩා කුඩාය. වර්ධනය වනුයේ අඩි 10 ක් පමණ දක්වාය. ශ්‍රී ලංකාව ඉන්දියාවේ නැඟෙනහිර වෙරළ තීරය, ගිනිකොන ආසියාව, උතුරු ඔස්ට්‍රේලියාව යන රටවල් ගැට කිඹුලා ගේ නිජබිමයි. මුහුදේ දිගු දුරක් පිහිනා යෑමේ හැකියාව නිසා වෙනත් ප්‍රදේශවලට ද ලෙහෙසියෙන් පැතිර යා හැකි බව ආචාර්ය ඇන්සලම් පවසයි.

කොළඹ තෙත්බිම් සහ ඇළ මාර්ග ආශ්‍රිතව අතීතයේ සිටම කිඹුලන් සිටි බවට වාර්තා තිබේ. පෘතුගීසින් විසින් කොළඹ කොටුවට පිවිසුම ‘කයිමන් දොරටුව’ ලෙස නම් කළේ, ඒ අවට අගල්වල බහුලව සිටි කිඹුලන් නිසා බව ප්‍රචලිත වනුයේ, පෘතුගීසි භාෂාවෙන් කයිමන් යනු කිඹුලාට භාවිත නමක් නිසාය. කිඹුලාවෙල, කිඹුලාපිටිය වැනි කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ග්‍රාම නාම ද අතීතයේ පටන් කොළඹ අවට කිඹුලන් සිටි බවට ඉඟි දක්වයි.

මීට පෙර එක්දහස් අටසිය ගණන්වලදී සිටි කෙලාර්ට් නමැති ස්වභාව විද්‍යාඥයා විසින් ලියූ පොතක කොළඹ තෙත්බිම් ආශ්‍රිතව වෙසෙන කිඹුලන් ගැන විද්‍යාත්මක දත්ත දැක්වූ බවත්, ආචාර්ය පී.ඊ.පී.දැරණියගල විසින් වලවේ ගඟේ සිට, නිල්වලා ගඟ දක්වා මුහුදෙන් සිදුවෙන කිඹුල් සංක්‍රමණයක් ගැන මින් පෙර ලියා ඇති බවත් ඩිනාල් පවසයි.

වැල්ලවත්ත, දෙහිවල ප්‍රදේශවලින් මුහුදට වැටෙන ඇළ මාර්ගවල කිඹුලන් මේ වන විට නිතර වාර්තාවේ. නාවල තෙත්බිම් උද්‍යානය (වැලි පාර්ක්) ආශ්‍රිත ඇවිදින මං තීරුව මෙන්ම අත්තිඩිය තෙත්බිම අසල ඇවිදින මං තිරුවේදී ද ඒ අවට ජල මාර්ගවල සිටින කොළඹ කිඹුලන් නිතර දැක ගත හැකිවේ. නාවල තෙත් බිම් උද්‍යානයේ නිතරම කිඹුලන් කිහිප දෙනකුම සිටින බවත්, මේ අතර විශාල කිඹුලෙකු ද මධ්‍යම ප්‍රමාණයේ කිඹුලන් දෙදෙනකු නිතර දැක ගත හැකි බවත්, ඉඳ හිට කුඩා පැටවුන් ද දැක ගත හැකි බවත් ඒ උද්‍යානය වෙත නිතර ගමන් කරන සමන් අබේගුණවර්ධන අප සමග පැවසීය. ඒත් එම සතුන්ගෙන් එකී මං තීරුවේ අවිදින්නන් හට කිසිදු බාධාවක් සිදුවී නැත.

උරගයකු වන කිඹුලා චලතාපී සතෙකු නිසා, උදෑසන සහ දහවල අව්ව තැපීමට බොහෝ විට ගොඩ බිමට පැමිණෙන නිසා ඔවුන් මිනිසුන් ගේ නෙත ගැටෙනවා වැඩිය. කෙසේවෙතත් දැන් දැන් කොළඹ කිඹුලන් වැඩියෙන් දර්ශනය වන බව බොහෝ දෙනකුගේ මතයකි. මෙය කිඹුලන් ගේ ගහනය වැඩි වීමකට වඩා, වෙනත් ස්වාභාවික ජල මාර්ගවල සිටි කිඹුලන් නගරය මැද ඇළ මාර්ගවලට සංක්‍රමණය නිසා සිදුවීමක් විය හැකි බව උරගයන් පිළිබඳ අධ්‍යයනය කරන සමීර සුරන්ජන් පැවසීය. ගංවතුර වැළැක්වීම සඳහා කොළඹ ජල මාර්ග අතර සම්බන්ධයන් වැඩි කිරීම, මේ කිඹුලන් සංසරණය වැඩි වන්නට උදව්වක් වන්නට ඇති බව සුරන්ජන් ගේ මතයයි. ගැට කිඹුලා විශේෂයෙන් ප්‍රිය කරන්නේ මදක් ලුණු ගතිය සහිත කළපු ජලය. තද වැසි දිනවලදී ඉහළ ප්‍රදේශවල මිරිදිය තත්ත්වය වැඩි වෙන නිසා, ඒ වගේ දවස්වල දී මේ කිඹුලන් ඇළ මාර්ගවල ලවණ ගතිය වැඩි පහළ ප්‍රදේශවලට පිහිනා විත්, ඒත් එක්කම මුහුදටත් යනවා වන්නට පුළුවන්, යැයි මතයක් ද ඔහු ඉදිරිපත් කළේය.

සමහර විට මිනිසුන් අතර ආරවුල් නිසා මරපු මිනිස්සුත් ගොඩක් වෙලාවට හංගන්නේ වගුරු ආශ්‍රිතව. ඒ වගේ කුණු වෙන මළ සිරුරක් හොයා ගන්නා කිඹුලා එය ආහාරයට ගන්නවා දකින හැමෝම හිතන්නේ, මේ මිනිහා මරලා තියෙන්නේ කිඹුලෙක් කියල. හොඳම උදාහරණය, පහුගිය දා යාපනය ප්‍රදේශයේ කාන්තාවක් මරා දාපු තරුණයෙක්, ඒ මළ සිරුර, කිඹුලුන් බහුල ඇළ මාර්ගයකට දමා ගොස් තිබීම. ඒක නිසා මේ වගේ අවස්ථාවල දී කාරණය හොඳින් පරීක්ෂා කරලා නිගමනයකට එළැඹෙන එක වඩා යෝග්‍ය බව සුරන්ජන් පවසයි.

මාංශ භක්ෂකයකු වන කිඹුලා සැඟවී පහර දී ගොදුරු ඩැහැගැනීමේ දක්ෂයෙක් වේ. ගොදුර ළඟටම පැමිණ පහර දෙයි. කෙසේ වෙතත් කිඹුලන් ගැවසෙන ප්‍රදේශවලට යෑමෙන් වැළකී සිටීමෙන්, කිඹුලන් ගේ ප්‍රහාරයට ලක්වීමෙන් වැළකීමට හැකිවේ. හොඳම උදාහරණය, කොළඹ ඇළ මාර්ග ආශ්‍රිතව කිඹුලන් ගැවසුණත්, මේ වනතෙක් කිසිදු ප්‍රහාරයක් පිළිබඳ වාර්තා නොමැතිවීමයි. මෙවන් කිඹුල් ප්‍රහාරයකින් පසු, ඒ අවට සිටින කිඹුලන් අල්ලා වෙනත් ප්‍රදේශයකට ගොස් දමනා ලෙස බියට පත් ජනතාව නිතර කරන ඉල්ලීමකි. එහෙත් බොහෝ විට තම වසමක් ආරක්ෂා කර ගන්නා ගැට කිඹුලන් වෙනත් ප්‍රදේශයකට ගොස් දැමීම බොහෝ විට ඔවුන්ගේ මරණයට හේතු වන්නේ, ඒ ප්‍රදේශයේ සිටින කිඹුලන් සමග සිදුවන ගැටුම් නිසාය. මේ දෙහිවල සිද්ධිය පාදක කරගෙන කොළඹ සිටින කිඹුලන් සියල්ල අල්ලා වෙනත් ප්‍රදේශයකට ගොස් දැමීමට කරන ඉල්ලීම් ප්‍රායෝගික නොමැති වන අතර, කිඹුලන් වෙසෙන ප්‍රදේශවල කිඹුලන්ගෙන් ආරක්ෂා වන උපක්‍රම උපයෝගී කරගෙන ගැටුම් අවම කරගැනීම වඩා හොඳම උපක්‍රමය බව උරග විශේෂඥයන් ගේ මතයයි.

මාලක රොද්‍රිගු

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news