― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනි. පොලිස්පති දේශබන්දු පාස්කු ප්‍රහාරයට සාක්ෂි දෙයි

නි. පොලිස්පති දේශබන්දු පාස්කු ප්‍රහාරයට සාක්ෂි දෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද යළි කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම විභාගය පැවැත්වුණා.

එම අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් නම් කර සිටි බස්නාහිර පළාත භාර වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සාක්ෂි ලබා දුන්නා.

පාස්කු ප්‍රහාරය එල්ල වූ 2019 වසරේ අප්‍රේල් මස තමා බස්නාහිර උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වරයා වශයෙන් රාජකාරි කළ බව සාක්ෂිකාර දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළා.

තමා යටතේ කැලණිය, මීගමුව සහ ගම්පහ යනුවෙන් පොලිස් කොට්ඨාස තුනක් තිබූ බවත් පොලිස් ස්ථාන 34 ක් හා ග්‍රාම සේවා වසම් 1722 තිබුණු බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ප්‍රශ්නයක් යොමු කරමින් 2019 වසරේ අප්‍රේල් මස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ නන්දන මුණසිංහ මහතා විසින් ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු ලබා දී තිබුණේ දැයි සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකාර දේශබන්දු තෙන්නකෝන් මහතා ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා විසින් පොලිස්පතිවරයා හරහා යොමු කර තිබූ ලිපියක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා විසින් 2019 වසරේ අප්‍රේල් මස 11 වනදා තමා වෙත යොමු කර තිබූ බව සඳහන් කළා.

“ස්වාමීනි.. එම ලිපිය සමඟ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ ඇමුණුමකුත් අමුණා තිබුණා. එම ඇමුණුම්වල සඳහන් කර තිබුණේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් කතෝලික පල්ලි ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බව. එම ඇමුණුම සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උපදෙස් හතරක්ද ලබාදී තිබුණා. සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි නිලධාරීන් දැනුවත් කරන ලෙසත්, එම සැකකරුවන්ගේ ඡායාරූප ලබාගෙන ඔවුන් නිවාසවල හෝ නවාතැන්පොළවල සැඟවී සිටින්නේ දැයි සොයා බලන ලෙසත් එම උපදෙස්වල සඳහන් කර තිබුණා. එමෙන්ම මහජනතාව තැති ගැන්වීමක් නොවන ආකාරයට මෙම විමර්ශන සිදුකරන ලෙසත් කතෝලික පල්ලිවල ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් එම උපදෙස්වල වැඩිදුරටත් සඳහන් කර තිබුණා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම ලිපිය ලැබුණු පසුව මාගේ ආවරණ ලිපියක් ද සහිතව ඉදිරි පියවර ගැනීම සඳහා එය මා යටතේ තිබෙන පොලිස් කොට්ඨාශය වෙත යොමු කළා.”යනුවෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළා.

ඔබ විසින් ලබාදුන් උපදෙස් මත පොලිස් ස්ථානය කටයුතු කර තිබුණේ දැයි එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රශ්නයක් යොමු කළා.

“ඔව් ස්වාමීනි…. 2019 අප්‍රේල් මස 12 වනදා වන විට මගේ ලිපිය මා යටතේ තිබුණු පොලිස් කොට්ඨාශ සහ පොලිස් ස්ථානවලට යවා තිබුණා. 12 වන දා සවස් වෙද්දී මීගමුව ප්‍රදේශයේ පොලිසිවලට ඒවා ගිහින් තිබුණා. උපදෙස් පන්තිවල දී මෙම ලිපිය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කෙරුණු බව කටාන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ ද සඳහන් කර තිබුණා”යනුවෙන් සාක්ෂිකාර දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා විසින් යොමු කළ ලිපියේ “අති රහසිගතයි” යනුවෙන් සඳහන් කර තිබෙනවා නොවේදැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පරයා ප්‍රශ්න කළා.

ඔව්.. ස්වාමීනී, ප්‍රසිද්ධ ලියවිල්ලක් නොවන අවස්ථාවක තමයි “අති රහසිගතයි” යන පදය යොදන්නේ. බස්නාහිර පළාත තුළ පොලිස් නිලධාරීන් 15000 ක් පමණ සිටිනවා. “අති රහසිගතයි” යනුවෙන් සඳහන් වුණත් එම නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අදාළ ලිපිය පහළ නිලධාරීන් වෙත යැවීමට සිදු වුණා” යනුවෙන් සාක්ෂිකාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා පැවසුවා.

වැඩිදුරටත් සාක්ෂි දුන් දේශබන්දු තෙන්නකෝන් මහතා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලබාදුන් තොරතුරුවල නිශ්චිත භාවයක් නොතිබූ නිසා ප්‍රහාරය වළක්වා ගැනීම අසීරු වූ බව සඳහන් කළා.

“ස්වාමීනි… නිලන්ත ජයවර්ධන මහතා විසින් ලබා දුන් තොරතුරුවල “පාස්කු” යන වචනය සඳහන් කර තිබුණේ නැහැ. පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බව සඳහන් කර නැහැ. ඉදිරියේදී ප්‍රහාරයක් එල්ල විය හැකි බව පමණයි සඳහන් කර තිබෙන්නේ. එහි නිශ්චිත භාවය ගැන ප්‍රශ්නයක් තිබුණා. මේක බැරෑරුම් කමක් සහිත නිශ්චිත බුද්ධි තොරතුරක් නෙවෙයි. මෙවැනි තොරතුරු අපට නිතරම ලැබෙනවා. ප්‍රහාරය එල්ල වන දිනය පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබා දී තිබුණා නම් ක්ෂණික ක්‍රියාමාර්ග ගෙන එය වලක්වා වීමට පියවර ගැනීමට හැකියාව තිබුණා” යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළා.

මෙහිදී විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ප්‍රශ්නයක් යොමු කරමින් ප්‍රහාරයක් වළක්වා ගැනීම සඳහා නිශ්චිත දිනය හා වේලාව දැන ගෙන සිටීම අවශ්‍ය දැයි සාක්ෂිකරු වෙන් විමසුවා.

“ස්වාමීනී.. මේ තොරතුර නිශ්චිත නැහැ. වියහැකි ප්‍රහාරයක් කියලයි සඳහන් කර තිබෙන්නේ. ඒ නිසා නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නැහැ.”යනුවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළා.

විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් යළිත් ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප ලබාගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළේ දැයි සාක්ෂිකරු ගෙන් විමසුවා.

“ස්වාමීනි…. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ගේ ඡායාරූප අපි සතුව තිබුණේ නැහැ. වනාතවිල්ලුව සිද්ධිය, මාවනැල්ල බුදුපිළිම ප්‍රහාර සිද්ධිය වගේ දේවල් ගැන පරීක්ෂණ සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඔවුන් සතුව තමයි එම ඡායාරූප තිබුණේ. මා යටතේ තිබූ පොලිසිවල එම ඡායාරූප තිබුණේ නැහැ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලින් ඡායාරූප ලබාගෙන විමර්ශන සිදුකිරීමට හැකියාවක් තිබුණා නොවේ දැයි විනිසුරු ඉර්ෂඩීන් නැවතත් ප්‍රශ්නයක් යොමු කළා.

“ස්වාමීනි… එවැනි ඡායාරූප තිබෙනවා නම් අදාල ආයතන ඒවා අපට ලබාදිය යුතුයි. අපට ඒවා සොයා ගැනීම අපහසුයි. ජාතික මට්ටමින් කටයුතු කරන රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන තමයි ඒවා ලබාදිය යුත්තේ.”යනුවෙන් සාක්ෂිකාර දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

මෙම ප්‍රහාරය එල්ල වන බවට ලැබුණු තොරතුරු පිළිබඳව ඔබගේ යටතේ තිබෙන පොලිස් ස්ථානවල බුද්ධි අංශ හරහා පරීක්ෂණයක් කළේ නැද්දැයි විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමු කළා.

“ස්වාමීනි.. නියෝජ්‍ය පොලිස්පති වශයෙන් මගේ යටතේ බුද්ධි අංශයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. පොලිස් කොට්ඨාශ යටතේ බුද්ධි අංශ ක්‍රියාත්මක වෙනවා. එම බුද්ධි අංශවල ක්‍රියාත්මක වන නිලධාරීන්ගේ වෘත්තීමය භාවය ගැන ගැටලු තිබෙනවා. ඔවුන් සොයා බලන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා සිදුවන අපරාධ පිළිබඳ බුද්ධි තොරතුරුයි. මෙම ප්‍රහාරය වැනි සංවේදී තොරතුරු පිළිබඳව විමර්ශනය සිදු කළ යුත්තේ රාජ්‍ය බුද්ධි සේවය වැනි ආයතන විසින්”යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළා.

විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ප්‍රශ්නයක් යොමු කරමින් පාස්කු ප්‍රහාරයට පෙර යෙදී තිබුණු සිංහල හින්දු අලුත් අවුරුදු දිනවල මෙවැනි ප්‍රහාරයක් එල්ල වීමට ඉඩකඩ තිබු බව ඔබට සිතුණේ නැද්දැයි විමසා සිටියා.

“ස්වාමීනි… සිංහල හා හින්දු අවුරුදු උත්සව සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. එය සාමාන්‍යයෙන් සිදු වන්නක්. කෙසේ වෙතත් පාස්කු දිනෙත් අපි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. මීගමුව “දුවේ” පැවති පාස්කු උත්සවයට අපි විශේෂ ආරක්ෂාවක් ලබා දුන්නා. “පාස්කු ඉරුදින” ප්‍රහාරයක් එල්ල වන බවට මට ලැබුණු තොරතුරු වල නිශ්චිතව සඳහන්ව තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට තිබුණේත් නෑ. එසේ සඳහන් කර තිබුණා නම් පියවරක් ගන්න තිබුණා” යනුවෙන් සාක්ෂිකරු පැවසුවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බවට අප්‍රේල් මස 20 වන දා සවස ඔබට කිසියම් පණිවුඩයක් ලැබී තිබුණේ දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කළා.

“ස්වාමීනි.. පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බවට පොලිස් මූලස්ථානයෙන් හෝ රාජ්‍ය බුද්ධි සේවයෙන් මට කිසිදු තොරතුරක් ලැබී තිබුණේ නෑ. කිසිම “වට්ස්ඇප්” පණිවුඩයක් ලැබී තිබුණෙත් නෑ. මගේ බල ප්‍රදේශය තුළ කතෝලික දේවස්ථාන සියයකට අධික සංඛ්‍යාවක් තිබෙනවා. එවැනි තොරතුරක් ලබාදී තිබුණා නම් වහා ක්‍රියාත්මක වී අවශ්‍ය පියවර ගන්න තිබුණා. යනුවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා.

වැඩිදුරටත් සාක්ෂි තුන් දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස අප්‍රේල් මස 18, 19 සහ 20 යන දිනවල තමා නිවාඩු ලබා සිටි බව සඳහන් කළා.

බස්නාහිර දකුණ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා එම කාලවකවානුවේ තමන් වෙනුවෙන් වැඩ බැලූ බවද ඔහු පැවසුවා.

තමා නිවාඩු අයදුම් කළේ අප්‍රේල් මස 03 වනදා බවත් එම අවස්ථාවේ සහරාන් හෂීම් ඇතුළු අනුගාමිකයින් ප්‍රහාරයක් එල්ල කරන බවට ශ්‍රී ලංකා වෙත තොරතුරු ලැබී නොතිබූ බවත් සාක්ෂිකරු සඳහන් කළා.

ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් මස 21 දා තමා නිවාඩු මත මහනුවර ප්‍රදේශයේ සිටි බවත් කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව දැනගත් පසු තමා වහා මීගමුව ප්‍රදේශයට පැමිණි බව සඳහන් කළ සාක්ෂිකරු කාදිනල්තුමා කටුවාපිටිය දේවස්ථානයේ පිපිරීම නිරීක්ෂණය කළේ තමන් සමග ගොස් බවත් සඳහන් කර සිටියා.

ප්‍රහාරයක් එල්ල වන බවට තමන් වෙත ලබාදුන් තොරතුරු සහ ඒ පිළිබඳව ගත් පියවර පිළිබඳව එවක පොලිස්පතිවරයා විසින් කිසිදු අවස්ථාවක තමාගන් පසු විපරමක් සිදු නොකළ බවයි සාක්ෂිකරු සඳහන් කළේ

ඉන් අනතුරුව විත්තිකාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාර දේශබන්දු තෙන්නකෝන් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වන බවට තමා වෙත කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබූ බව විවෘත අධිකරණයේ පිළිගත්තා.

අනතුරුව වැඩිදුර විභාගය හෙට දින තෙක් කල් තැබුණා.