― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාට දෙකේ මුහුණක් ඇති රූප රාජිණිය - Winnie Harlow

පාට දෙකේ මුහුණක් ඇති රූප රාජිණිය – Winnie Harlow

මතක විදිහට ඒ 1989 අවුරුද්ද. මම ගිය දහම් පාසැලේ පොඩි ගෑනු ලමයෙක් හිටියා කබර රෝගය වැළඳුනු. අපේ භාශාවෙන් කිව්වොත් කබර හැදිච්ච කෙල්ලක්. අන්වර්ථ නාමය ‘කබරි’. වැස්සි කියලත් කොල්ලො විහිළු කරා. වැඩිපුරම අපහාස..කුණුහරප… නම් පටබැඳීම් තමයි අහන්න දකින්න තිබුනෙ. ටික දවසකින් ඒ ළමයා දහම් පාසැල් එන එක නතර කරා. විනීට කියල ඒකෙ වෙනසක් නෑ කැනඩාවෙ ඉපදුනාට.

විනී හාර්ලෝ ( Winnie Harlow) ඉපදෙන්නෙ කැනඩාවෙ ඔන්ටාරියෝවල 1994 අවුරුද්දෙ. එයාගෙ දෙමව්පියන් ජැමයිකා කැනඩා සම්භවයක් ඇති අය. බොහොමයක් දවස්වල පුංචි විනී ගෙදර එන්නෙ අඬාගෙන. “අම්මෙ ආයෙ නම් මට ඉස්කෝලෙ යන්න බෑ.. ඒ අය හැම තිස්සෙම මට වද දෙනවා. මම තරම් කැත කෙල්ලක් ජීවිතේට දැකල නෑ කියලා පන්තියේ කොල්ලො හැම තිස්සෙම කියනවා.”

හේතුව මොකද්ද..? විනී උපතින්ම විටිලිගෝ ( Vitiligo ) කියන චර්ම රෝගය වැළඳුනු කෙනෙක්. තේරුම් ගැනීමේ පහසුවට අපි කියමු කබර කියලා. කැනඩාවෙ කියල නෑ.. ලෝකෙ ගොඩාක් රටවල වගේම .. කැනඩාවෙ දියුණු යැයි සම්මත සමාජයේදීත් නම් පටබැඳෙනව මේ පොඩි කෙල්ලට. සීබ්‍රා.. කව් නැත්තං එලදෙන.. හූනා මේ නම් වලින් කීපයක්. විනීගෙ අම්ම තමයි හැමදාම මේ නඩු අහන්නෙ. ඉස්කෝලෙ ගිහින් විදුහල්පතිට හෝ පංතිභාර ගුරුවරියට කීප සැරයක්ම පැමිණිලි කරත් මේ අපහාස විහිළු තහළුවල කෙලවරක් දකින්න වෙන්නෙ නෑ. තුන් හතර සැරයක්ම ප්‍රාථමික පාසැල් මාරු කරනව වෙනත් ඉස්කෝලවල පිරිමි ලමයි වඩා සංවර වෙයිද බලන්න. නමුත් හැම තැනම අඩු වැඩි වශයෙන් සිද්ධ වෙන්නෙ එකම දේ.

පුංචි කෙල්ල තරුණියක් වුනත් නින්දා අපහාසවල අඩුවක් නෑ. ඒ වුනත් හැම තරුණ ළමයෙක්ම වගේ විනීත් ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් වගේ සමාජ මාධ්‍යවල පෙනී ඉන්නව තමන්ගෙ මූණෙ වර්ණය වෙනස් කරගෙන. අපේ භාශාවෙන් කීවොත් මේකප් දාගෙන. දැන් මොකද වෙන්නෙ… එයාට අළුත් නමක් පටබැඳෙනව ‘ටොප් මොඩල්’ කියල.
උසස් පෙළ පන්තියේ ඉන්න විනීට තවදුරටත් මේ අපහාස ඉවසන්න බෑ. එයා උත්සාහ කරනව සියදිවි නසා ගන්න. අවාසනාවකට ඒ උත්සාහය සාර්ථක නොවුනත් ඒකෙන් වෙන්නෙ විනීගෙ පාසැල් ගමන සම්පූර්ණයෙන්ම නතරවීම. වෙන කරන්නම දෙයක් නැති තැන එයා කරන්නෙ ඉන්ස්ටග්‍රෑම් හරහා තමන්ගෙ පිංතූර ප්‍රසිද්ධ කරන එක.

හිනාවෙන එවුන්ට ඕනෙ තරම් දැන් හිනා වෙන්න පුළුවන් කියන වාක්‍යත් සමහර වෙලාවට මේ පිංතූර යටින් එයා ලියනවා. ඒත් ටිකෙන් ටික මේ පිංතූර වටේ රසිකයො එකතු වෙනවා. විනීගෙ යාළුවෙක් කියනවා උඹේ නමත් ටොප් මොඩල් නිසා ඇයි උඹ ටොප් මොඩල් කෙනෙක් නොවන්නෙ කියලා. ඒකෙ ප්‍රථිඵලය තමයි විනී හාර්ලෝ ඇමරිකන් ටොප් මොඩල් තරඟයකට අයදුම්පතක් ඉදිරිපත් කිරීම. “මං ඒක කරේ විහිළුවට වගේ. මට නැතිවෙන්න දෙයක් නෑ.. හිනා වුනා.. අපහාස කරා කියල රිදෙන්න හිතක් මට ඉතුරු වෙලා තිබුනෙ නෑ. වෙන දෙයක් වෙද්දෙන් ..අඩුම තරමෙ මට විනිශ්චය මණ්ඩලය හරි හිනස්සවන්න පුළුවන්නෙ කියල මම හිතුවෙ.”

විනී පසු කාලෙක මෙහෙම කියනවා. ඇමරිකන් නෙක්ස්‍ට් ටොප් මොඩල් ( American Next Top Model ) කියන්නෙ ඇමරිකාවෙත් කැනඩාවෙත් ..යුරෝපයේත් බොහොම ප්‍රසිද්ධ රූපවාහිනී හා ඉන්ස්ටග්‍රෑම් වැඩසටහනක්. මේ තරඟෙට ලෝකය පුරාම ඉන්න තරුණියො ඉදිරිපත් වෙන්නෙ විලාසිතා ලෝකයේ මීළඟ රැජිණ වෙන්න හිතාගෙන.
කවුරුවත් නොහිතන විදිහට විනී අවසන් දාහතර දෙනා අතරට තේරෙනවා. එයා තමයි ඉතුරු වුණු එකම කැනේඩියානු තරඟකාරිය. මේ තරඟයේ අවසන් වටයෙදි පරාද වුනත් ඒ වෙද්දි විනී මුළු ඇමරිකාවෙම ජනප්‍රිය වෙනවා.

අඩි හයකට ආසන්න උස වගේම හැඩකාර සිරුර.. ප්‍රියමනාප හිනාව..ලස්සන කතාවටත් වඩා මිනිස්සු ආදරය කරන දෙයක් තියනවා. ඒ තමයි තමන්ගෙ පාට දෙකේ මුහුණ එයා ඒ විදිහටම පිලිගන්න එක. “මං මේ විදිහයි.. මට ඒක වෙනස් කරන්න බෑ … මට ඒකෙ අවුලකුත් නෑ” කියන අදහස එයා මිනිස්සුන්ට දෙනවා. ඊලඟ අවුරුද්දෙත් අවසන් වටේදි විනී පරාද වෙනවා. නමුත් පරාදවුණු නිරූපිකාවන් අතර පැවැත්වූ තරඟයේදී විනී දිනන්නෙ බොහොම පහසුවෙන්.

ඒ විතරක් නෙවේ ප්‍රේක්ශකයන්ගේ ඡන්දයෙන් විනී අංක එකට තේරෙන්නෙ කලින් තරඟය ජයග්‍රණය කරපු නිරූපිකාවට වඩා ඡන්ද දහස් ගානක් ඉදිරියෙන්. ප්‍රතිඵලය තමයි ඩෙසිගුආල් ( Desigual) කියන ස්පාඥ්ඥ ඇඳුම් සමාගමේ ප්‍රධාන නිරූපිකාවගේ තනතුර විනී හාලෝට ලැබීම. ලන්ඩන් ෆැශන් වීක්.. පැරිස් ෆැශන් වීක්.. මිලානෝ කැට්වෝක් වගේ නිරූපන හා ඇඳුම් මෝස්තර උළෙලවල් වලින් ආරාධානා ගලාගෙන එනවා.
වෝග්… ස්වාරෝව්ස්කි.. නීනා රිචී වගේ සමාගම්වලටත්… විනීව නැතුවම බැරි වෙනවා.
2016 වෙද්දි බොහෝ විලාසිතා සඟරාවල මුල් පිටු සරසවන විනී ලෝකයේ වැඩියෙන්ම මිලක් ලබන නිරූපිකාවන් අතරට පත් වෙනවා. 2016 අවුරුද්දෙ බීබීසී ප්‍රවෘත්ති සේවාව විසින් නම් කරන ලෝකයේ වඩාත්ම බලපෑමක් ඇති කළ හැකි කාන්තාවන් සිය දෙනා අතරට විනීත් ඇතුළත් වෙනවා.

මිලානෝ.. ලන්ඩන්.. නිව් යෝක්… පැරිස් නගර අතරෙ නිරන්තරවම සංචාරය කරන විනී හාලෝ ලස්සනද කැතද කියන එක නෙවේ ප්‍රශ්ණෙ. සෙලෝලයිට් විලාසිතා ලෝකය හොඳද නරකද කියන එක නෙවේ ගැටළුව. ඉන්ස්ටග්‍රෑම් හරහා පිංතූර පලකිරීම නෙවේ ගැටළුව. ගැටළුව තියෙන්නෙ අපේ විනිශ්චයන් තුළ. එදා හිනාවුනු.. අපහාස කරපු මිනිස්සු රූපවාහිනී තිරයේ ..ඉන්ස්ටග්‍රෑම් .. ෆේස්බුක් හරහා විනීව දකිද්දි මොනව හිතනව ඇතිද කියන එකයි ප්‍රශ්නය.

සමාජයේ විනිශ්චයන් විවිධාකාරයි. හැමෝම උත්සාහ කරන්නෙ සුදු වෙන්න. හැබැයි සුද්දන්ට බනිනවා. කලු උනොත් ඒක ලොකු අවුලක්… කලු හමට ගරහනවා… මහත් වුනොත් එලදෙන.. කෙට්ටු වුනොත් කැහැට්ටා.. කෙහෙට්ටි… උස වුනොත් ජිරාෆ්.. කොටට ඇන්දොත් ගොනා. බොහෝ සංස්කෘතීන් හා රටවල අඩු වැඩි වශයෙන් මේක සිද්ධ වෙනවා. සමස්තයක් විදිහට බටහිර අප්‍රිකාවේ.. ඉන්දියානු උප මහද්වීප කලාපයේ හා මධ්‍යම ඇමරිකාවේ මේ තත්වය දරුණුයි.
එක්කො ආගමට අපහාසයක්.. නැත්තං සංස්කෘතියට හොඳ නෑ..

අපේ විනිශ්චයන් අපහාසයන් කොයිතරම් පටුද.? කෙනෙක්ට කියන්න පුළුවන් විහිළුවක් කියලා. නමුත් ඒ විහිළු තව කෙනෙක්ට තමන්ගෙ ජීවිතේ නැති කරගන්න තරම් බලවත්. එලදෙන හෝ කබරි ඒකට හොඳම උත්තරයක් දීලා තියනවා. කැතයි කියල ප්‍රතික්ෂේප කරපු මිනිස්සුම අත්සනක් ගන්න විනීගෙ පස්සෙන් යනවා. හැම කෙනෙක්ටම ටොප් මොඩල් වෙන්න බෑ. හැබැයි තමන්ට තමන්ම වෙන්න පුළුවන්. අනිත් මිනිස්සුන්ගෙ විනිශ්චයන්ගෙන් කාටද වැඩක් තියෙන්නෙ.
විනී හාලෝ අපිට කියල දෙන්නෙ ඒකයි.

Pictures: Vogue/ Nike

✍️Malcolm Sang