― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalඇමතිවරු ඉන්නේ තමන්ගේ ප්‍රශ්නය ජනතාවට කියන්න නෙවෙයි, ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයල...

ඇමතිවරු ඉන්නේ තමන්ගේ ප්‍රශ්නය ජනතාවට කියන්න නෙවෙයි, ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයල දෙන්න

“ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට පිළිතුරු නැහැ. ඔවුන් කරන්නේ ප්‍රශ්නය ජනතාවට කියන එකයි. ගම්මන්පිල ඇමතිවරයා කියන්නේ “පයින් ගියොත් ලයිට් තියෙනවා. වාහනයක ගියොත් කළුවරේ ඉන්න වෙනවා” කියලයි. ගම්මන්පිල ඇමති, ගාමිණී ලොකුගේ ඇමති වගේම විදුලි බල මණ්ඩලය එක එක කතා කියනවා. ඇමතිවරු අවශ්‍ය වෙන්නේ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කරලා අර්බුද විසඳන්නයි. මහජන මුදල්වලින් ඇමති ධුර නඩත්තු කරන්නේ ජනතාවට ප්‍රශ්නය කියන්න නොවෙයි. සාමූහිකව තීන්දු අරගෙන ප්‍රශ්න විසඳා ජනතාව ගොඩගන එක ඔවුන්ගේ වගකීමයි. නමුත් දැන් වෙලා තිබෙන්නේ ප්‍රශ්නය කිය කියා රටම අයාලේ යැවීමයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ (26) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්…

“අද බරපතළ බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. 27වැනිදා දක්වා විදුලිය විසන්දි කරන්නේ නැති බව ප්‍රකාශ කර තිබෙනවා. ඊළඟට මොකක්ද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. විදුලි බලමණ්ඩලය පැහැදිලි කිරීම් කළත් ජනතාවට තිබෙන්නේ අවිනිශ්චිතභාවයක්. ආණ්ඩුවේ ඇමතිවරුන් එක එක කතා කියනවා. පසුගිය කාලයේ විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න තෙල් තිබුණේ නැහැ. නැව්වලින් තෙල් ගොඩබාන්න ඩොලර් හිඟවී තිබෙනවා. ගම්මන්පිල කියනවා ඩොලර් දුන්නොත් තෙල් දෙන්නම් කියලා. ලොකුගේ කියනවා තෙල් දුන්නොත් ලයිට් දෙන්නම් කියලා. අද වෙනකොට සපුගස්කන්ද බලාගාරය දුවන්න දැවි තෙල් අර්බුදයක් තිබෙනවා. තාප බලාගාර දුවන්නත් ගල් අඟුරු අර්බුදයක් තිබෙනවා. කැළණිතිස්ස බලාගාරයට තෙල් තිබෙන්නේ දවස් තුනහමාරකට විතරක් කියලා පැහැදිලි කිරීම් තිබෙනවා.

කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අනුව නැව්වලින් තෙල් ගොඩබාන්න ඩොලර් නිදහස් කරගෙන තිබෙනවා. ඒ තෙල් විදුලි බලාගාර දුවවන්න දුන්නොත් වාහනවලට තෙල් නැහැ. අනිකුත් කර්මාන්තශාලාවලට අවශ්‍ය තෙල් සැපයීමත් අර්බුදයක්. කොලොන්නාවේ දැවි තෙල් අවසන් වීගෙන යනවා. තෙල් නැවක් නැවත එන්නේ පෙබරවාරි 05 හෝ 06වැනිදා. බොරතෙල් නැව එන්නේ ජනවාරි 30වැනිදා. මේ නැව්වලින් ගොඩබාන්න දවස් පහක් හයක් ගතවෙනවා. ඒ අනුව හැම එකෙන්ම පෙන්වන්නේ හෙට සිදුවෙන දේ ගැන කිසිකෙනෙක් නොදන්නා බවයි. විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන කරුණු ක්ෂණිකව වෙනස් වෙනවා. පැයක සිට පැය හතර දක්වා කාලයක් ලයිට් කපන බව විදුලි බලමණ්ඩලය මුලින් කිව්වා. ඊට පස්සේ කැපීමක් නොකරන බව කිව්වා. අනික් පැත්තෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව 27දා දක්වා ලයිට් නොකපන බව කිව්වා. තෙල් ගන්න මොන ක්‍රමයකින් හරි ඩොලර් සොයා ගත්තත් ජල විදුලි නිෂ්පාදනයට ජලය නොමැති ප්‍රශ්නයක් බරපතළ ලෙස මතුවී තිබෙනවා.

පසුගිය කාලයේ ජල විදුලි බලාගාරවල ජනනය වැඩි කළ නිසා වේගයෙන් ජලාශ සිඳී ගොස් දැන් සැපයුම් කරන්නේ 30%ක පමණ ප්‍රමාණයක්. විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරන විදිහට මේ දක්වා ජනනය අඩුවීමට නියමිතව තිබුණේ මාර්තු මාසයේ මැද පමණ වන විටයි. නමුත් දැනටමත් ජලාශ හිඳිලා තිබෙන්නේ. මේ නිසා අනිවාර්යයෙන්ම ජල විදුලි උත්පාදනයත් අර්බුදයකට යනවා. තෙල් නැතිකමින්, ඩොලර් නැතිකමින් විදුලිය නිෂ්පාදනය අර්බුදයට ගියා වගේම ජලය නොමැති කමින් විදුලිය සැපයීමේ අර්බුදයකුත් මතුවී තිබෙනවා. ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට පිළිතුරු නැහැ. ඔවුන් කරන්නේ ප්‍රශ්නය ජනතාවට කියන එකයි. ගම්මන්පිල ඇමතිවරයා කියන්නේ “පයින් ගියොත් ලයිට් තියෙනවා. වාහනයක ගියොත් කළුවරේ ඉන්න වෙනවා” කියලයි. ගම්මන්පිල ඇමති, ගාමිණී ලොකුගේ ඇමති වගේම විදුලි බල මණ්ඩලය එක එක කතා කියනවා. ඇමතිවරු අවශ්‍ය වෙන්නේ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කරලා අර්බුද විසඳන්නයි. මහජන මුදල්වලින් ඇමති ධුර නඩත්තු කරන්නේ ජනතාවට ප්‍රශ්නය කියන්න නොවෙයි. සාමූහිකව තීන්දු අරගෙන ප්‍රශ්න විසඳා ජනතාව ගොඩගන්න එක ඔවුන්ගේ වගකීමයි. නමුත් දැන් වෙලා තිබෙන්නේ ප්‍රශ්නය කිය කියා රටම අයාලේ යැවීමයි. බලශක්ති අර්බුදය පිටුපස සැලසුම් සහගත කුමන්ත්‍රණ තිබෙන්නත් පුළුවන්. ඒ අවිශ්වාසය, සැකය මේ රටේ ජනතාවට තිබෙනවා. හිටපු ගමන් ජනාධිපතිවරයා සාකච්ඡා කළාම කබ්රාල්ට ඩොලර් උනන්නේ කොහොමද? 2020 අවුරුද්දේ මාස 11කදී එළවළු පළතුරු ගෙන්වන්න ඩොලර් මිලියන 374ක් වියදම් කරලා. 2021 මාස 11කදී මේ වෙනුවෙන් ඩොලර් මිලියන 415ක් වියදම් කරලා. පිටරටින් එළවළු පළතුරු ගේන්න ඩොලර් තිබෙනවා. තෙල් ගේන්න ඩොලර් නැහැ කියනවා. මෙතන ලොකු කුමන්ත්‍රණයක් තිබෙන බව පැහැදිලියි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව 2016 මාර්තු 31වැනිදා නිකුත් කළ වාර්තාවකින් පැහැදිලිව දක්වා තිබුණා වාර්ෂිකව විදුලි බල ඉල්ලුම 5.5%කින් ඉහළ යන බව. කාර්ය බහුල තත්වයන් ඇති වුවහොත් තවත් වැඩිවෙන බව පෙන්වා දී තිබුණා. ඒ අනුව විදුලි උත්පාදන බලාගාර අලුතින් ආරම්භ කරන්න ආණ්ඩුවට සැලසුමක් තිබෙන්න ඕනෑ. නමුත් කිසිදු ආණ්ඩුවක් විදුලි අවශ්‍යතාවය සපුරන්න පූර්ව ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. මෑතදී ගම්මන්පිල ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණේ ජලාශ පිරී තිබෙන නිසා විදුලි උත්පාදනයට තෙල් අවශ්‍ය නොවන බවයි. 2009 අංක: 20 දරන විදුලි බල පනත අනුව විදුලි බල සම්ප්‍රේෂණ බලපත්‍ර ලාභියෙක් සතුව තිබිය යුතු පූර්ව අවශ්‍යතා ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. 24 වගන්තියේ (ආ) කොටසේ “කාර්යක්ෂම සම්බන්ධීකරණය විශ්වාසවන්ත හා පිරිමැසුම්දායක සම්ප්‍රේෂණ පද්ධතියක් වැඩි දියුණු කර පවත්වාගෙන යා යුතුය. ඒ වගේම පාරිභෝගිකයන්ට ආරක්ෂාකාරී විශ්වාසවන්ත හා පිරිමැසුම් දායක විදුලි සැපයුමක් සහතික කළ හැකි වන පරිදි විදුලි බලය තොග වශයෙන් ලබාගෙන බෙදා හැරීම බලපත්‍ර ලාභියෙකුට තිබිය යුතුය.” ඉතා පැහැදිලිව මේ කරුණු දක්වා තිබෙනවා. ඒ වගේම “විදුලි බලය සඳහා කලින් පුරෝකථනය කළ ඉල්ලුම සපුරාලීමට උත්පාදනය කිරීමේ පිරිවිතයෙන් ලබාගත් ප්‍රමාණවත් ධාරිතාවයක් ඇති බවට සහතික විය යුතුය.” කියලත් සඳහන් වෙනවා. විදුලි බල බලපත්‍ර ලාභීන් සම්පූර්ණ කළ යුතු කොන්දේසි ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා.

ඇත්තටම ගත්තොත් දැන් තිබෙන අර්බුදය නිසා කර්මාන්ත පවත්වාගෙන යන්න, දෛනික කටයුතු පවත්වාගෙන යන්න, සුදුසු පරිසරයක් නැහැ. ආණ්ඩුව දැන් ජනතාවට කියන්නේ වතුර අඩුවෙන් බොන්න, කෑම අඩුවෙන් කන්න, විදුලිය අඩුවෙන් පාවිච්චි කරන්න, තෙල් අඩුවෙන් පාවිච්චි කරන්න, ගෑස් අඩුවෙන් පාවිච්චි කරන්න, බෙහෙත් අඩුවෙන් බොන්න, ඩොලරුත් අඩුවෙන් පාවිච්චි කරන්න කියලයි. මේවා අඩුකරන්න කියන්න නම් ආණ්ඩුවක් ඕනෑද? ආණ්ඩුව සහන වෙනුනට ජනතාවට අඩුවෙන් පාවිච්චි කරන්න කියනවා. විදුලි අර්බුදය එන විට ජල සැපයුම අඩාල වෙනවා. තෙල් අර්බුදය එන විට දුම්රිය දුවන එක අර්බුදයට යනවා. රටේ බරපතළ අවිනිශ්චිතතාවයක් තිබෙන්නේ. සංචාරක කර්මාන්තය දියුණු කරන්න ආණ්ඩුව කතා කරනවා. නමුත් ලංකාවට එන විදේශිකයන්ට ඔවුන්ගේ රටවලින් අවවාද ලබාදී තිබෙනවා ලංකාවේ කුමන මොහොතක හෝ විදුලිය කැපීම, දුම්රිය නැවැත් වීම, ජල සැපයුම අඩාල වීම, වැනි තත්වයන්ට මුහුණ දෙන බව. කැනඩාව උදාහරණයක්. මේ තත්වයක් තුළ සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන්ද? මේ කියන සැක සහිත තත්වය තුළ විදේශිකයන් ලංකාවට පැමිණීම ගැන නැවත සිතා බලනවා. තමන් ඉන්න හෝටලයේ කොයිවෙලේ ලයිට්, වතුර කැපෙයිද? ගෑස් එක පුපුරයිද? කියන අවිනිශ්චිතතාවය තිබෙනවා.

අපේ බල ශක්තිය සම්බන්ධ ස්වාධීනත්වය කුමන්ත්‍රණකාරී ලෙස පාවාදීම් සිද්ධ වුණා. තෙල් අර්බුදය විසඳන්න ඉන්දියාවෙන් තෙල් ගෙන්වීමේ බලය විදුලි බලමණ්ඩලයට දෙන්න කියලා ඇමතිවරයා ඉල්ලා තිබෙනවා. ඛනිජ තෙල් පනත අනුව තෙල් ගෙන්වීමේ බලය තිබෙන්නේ සංස්ථාවට. ඒ බලය විදුලි බලමණ්ඩලයට දෙන්න පනත අනුව බැහැ. නමුත් විදුලි බල ඇමති කියන්නේ ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 500ක අතමාරු ණයට අදාලව තෙල් ගෙන්වීම ලබාදෙන ලෙසයි. දැවි තෙල්, බොර තෙල් සහ පෙට්‍රල් ඩීසල් පිළිබඳ පාලනය ඉන්දියාවට පැවරීමේ තත්වයක් මතුවී තිබෙනවා. එල්.එන්.ජී. බලාගාර ඇමෙරිකාවට පැවරීමේ ගිවිසුමක් දැනටමත් අත්සන් කරලයි තිබෙන්නේ. අපේ බල ශක්තිය ඔවුන්ට අවශ්‍ය ආකාරයට පාලනය කරන්න ඇමෙරිකාවට සහ ඉන්දියාවට පවරා දීලා උගුලක හසුකර තිබෙනවා. අවසානයේ ගත්තම වරාය චීනයට, තෙල් ටැංකි ටික ඉන්දියාවට, එල්.එන්.ජී. බලාගාරය ඇමෙරිකාවට දි ලෝක බලවතුන්ට ඕනෑ ආකාරයට බල ශක්ති පාලනය ලබාදීමයි. බල ශක්ති අර්බුදය පෙන්වූවාම ජනතාව ඊළඟට කියන්නේ “ඕක කාට හරි දීලා අපට තෙල් දෙන්න, අපට කරන්ට් එක දෙන්න” කියලයි. ගෑස් සිලින්ඩර් පුපුරන්න පටන් ගත්තාට පස්සේ සිදුවූ දේ අපි දැක්කා. පෝලිම් අඩුවී ජනතාව ගෑස් පරිහරණයෙන් ඉවත් වෙන තත්වයක් තිබෙන්නේ. බය නිසා ගෑස් භාවිතයෙන් ඉවත් වෙනවා. බහුජාතික සමාගම්වලට බල ශක්තිය පවරනකොට ජනතාවත් ඒකට අනුමැතිය දීමේ තත්වයකට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.

ආණ්ඩුවේ ඇමතිවරු ආඩපාලි කියන තත්වය නිසා සැකය සහ අවිශ්වාසය ජනතාව තුළ නිර්මාණයවී තිබෙනවා. කර්මාන්ත ශාලා දුවන්නේ කොහොමද?, වාහනය පාරට දානවාද?, වතුර මෝටරයට භූමිතෙල් තිබෙයිද? ආදී වශයෙන් සැකයන් තිබෙන්නේ. මේක අඩමානයට යන රටක් නිර්මාණය කළ ආණ්ඩුවක්. රටකට මෙහෙම යන්න බැහැ. අද ගන්න තීන්දුව හෙට රිවස් කරනවා. මේ නිසා ආණ්ඩුවේ පිළිවෙත වෙලා තිබෙන්නේම සැකය සහ අවිශ්වාසය මත මුළු රටම බරපතළ අගාධයකට තල්ලු කරලා. අපි ආණ්ඩුවට බල කරන්නේ තමන්ගේ අර්බුද රටට ප්‍රකාශ නොකර ජනතාවට විසඳුම් ඉදිරිපත් කරන්න කියලයි. ජනතාව ඇමතිවරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අර්බුදය පැහැදිලි කිරීමක් නොවෙයි. අර්බුදවලට විසඳුමක්. ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.”