මාධ්‍යවේදියා - 06:06


English English සිංහල සිංහල

 

- Advertisement -spot_imgspot_img

~

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට වහාම ස්ථාන මාරුවක් ලබා දෙන්නැයි නීතිපතිවරයා විසින් සිදුකළ ඉල්ලීම පැහැර හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබේ. දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් ලබා නොදීම, මැයි 09 වැනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිදුවන පොලිස් පරීක්ෂණවල බලපෑමක් වියහැකි බව සබුද්ධික ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන බව නීතිපතිවරයා සිය ලිපියෙන් අවධාරණය කර තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අධිකරණය පසුගියදා නීතිපතිවරයා වෙත නියෝග කර තිබූ අතර ඒ සම්බන්ධයෙන්ද ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත. මැයි 09 වැනිදා රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට පාදක වූ, ගෝඨාගෝගම සහ මයිනාගෝගම විරෝධතාවලට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් හා ප්‍රහාරය සිදුකළ පුද්ගලයන්ට ඒ සඳහා අවකාශ සැළසීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වී තිබේ.
මහා සංඝරත්නය බොහෝ අවස්ථාවලදී රට පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් පාලකයන්ට උපදෙස් ලබාදෙන නමුත් කිසිදු පාලකයෙකු මහා සංඝරත්නය ලබාදෙන උපදෙස් අනුගමනය නොකරන බව සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි පවසයි. මහා සංඝරත්නය ලබාදුන් උපදෙස් අනුගමනය කළේ නම් රටට මෙතරම් අභාග්‍යයක් උදා නොවන බව නාහිමියෝ පෙන්වා දුන්නේය. මේ වනවිට රටට උදා වී ඇති අභාග්‍යසම්පන්න තත්වය සම්බන්ධයෙන් කුඩා දරුවෙකුට පවා යම් අවබෝධයක් තිබෙන බව පෙන්වා දෙන මහ නාහිමියෝ පවසන්නේ කෙසේ නමුත් පාලකයන් අර්බුදය නිවැරදිව හඳුනාගෙන තිබෙන්නේද යන්න පැහැදිලි නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් තමාට බරපතල කණගාටුවක් තිබෙන බවද ඥානරතන නාහිමි සඳහන් කළේය.
වෙඩි වැදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. අප වාර්තාකරු පැවසුවේ මෙම වෙඩි තැබීම මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේදී සිදුවී ඇති බවයි. පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බැවින් වෙඩි තැබූ පුද්ගලයින් ගැන තවමත් ආරංචියක් නොමැත. වෙඩි තැබීමට හේතුවද තවම අනාවරණය වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණ පොලිසිය සිදුකරනු ලබයි.
'එක රටක් එක නීතියක්' පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත බාර දී තිබේ. එම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
දර්ගා නගරයේ අයිඕසී ඉන්ධන පිරවුම්හලේ ඊයේ (28) රාත්‍රියේ ලොරි රථයකට ඩීසල් ලබා ගැනීමට කුලී පදනම මත පෝලිමේ සිටි පුද්ගලයෙකු ඉන්ධනහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරහා පාරමාරු වීමට යාමේදී අලුත්ගම දෙසින් වැලිපැන්න දෙසට ගමන් ගත් ටිපර් රථයක ගැටී මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි. අනතුර සිදු කළ බව කියන සැකකාර රියදුරාද දර්ගා නගරයේ ඉන්ධන පෝලිමේ සිට රාත්‍රී ආහාර ගැනීමට අලුත්ගම නගරයට ගොස් නැවත දර්ගා නගරය දෙසට පැමිණීමේදී පාර මාරු වූ පුද්ගලයා මෙම ටිපර් රථයෙගැටී මියගොස් ඇති බව පරීක්ෂණ සිදුකරන අලුත්ගම පොලිසිය කියයි. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ දර්ගා නගරය, පුවක් වත්ත, අලවතුගොඩ අංක 187/3 ලිපිනයේ පදිංචිව සිටි සිංගප්පුලිගේ ආනන්ද (58) නැමැති විවාහකයෙකු බව පොලිස් විමරශනවලදී අනාවරණය වී තිබේ. මියගිය පුද්ගලයා වෙනත් අයෙකුට අයිති ලොරි රථයකට ඩීසල් ලබාගැනීම වෙනුවෙන් එදින රාත්‍රියේ එම ලොරියක් සමඟ ඉන්ධනහල් පෝලිමේ ගත කරමින් සිටියදී අලුත්ගම වැලිපැන්න දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය හරහා දර්ගා නගරයේ ඉන්ධන හල ඉදිරිපිටින් පාර මාරුවීමට යාමේදී සිදුවූ අනතුරෙන් මියගොස් තිබේ. මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය අලුත්ගම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කළුතර නාගොඩ රෝහලට රැගෙන යාමට නියමිතය.
වැලිකන්ද කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු අද (29) උදෑසන අභිරහස් ලෙස මරණයට පත්වීමත් සමඟ එම කඳවුරේ සිටින රැඳිවියන් සහ හමුදාව අතර උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති බව වාර්තා වේ. මෙයින් රැඳවියන් 600කට ආසන්න සංඛ්‍යාවක් පැනගොස් ඇති බව වාර්තා වෙයි. උණුසුම්කාරී තත්වය පාලනය කිරීමට යුද හමුදාව සහ පොලිසිය කැඳවා ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.
අද (29) සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ අභ්‍යන්තර සාකච්ඡා වට කිහිපයක් ආරම්භ කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කාන්තා හා තරුණ සංවිධාන, වෘත්තීය සමිති, පළාත් පාලන සංසදයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡා සඳහා සහභාගි වන බව වාර්තා වෙයි. රටේ වත්මන් අර්බුද විසඳීමට ගත හැකි පියවර හා පක්ෂය බලගැන්වීම් ඇතුළු රටේ ප්‍රධාන කාරණා රාශියක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරනු ඇතැයි පැවසෙනවා.
බේරුවල ප්‍රදේශයේ IOC තෙල් පිරවුම්හලක තෙල් ලබාගැනීමේ ටෝකන්පත ලබා ගැනීමට පැමිණි ජනතාවට පොලිසිය විසින් පහර දෙන වීඩයෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
පසුගිය දින කිහිපය තුළ රටපුරා නිවාසවල සිදු වූ දරු උපත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පැවසුවේ ඉන්ධන අර්බුදය හමුවේ රෝහල්වලට යාමට ඇති අපහසුව සහ මූල්‍ය ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. පසුගිය දින දෙක තුළ නිකවැරටිය, පිටකොටුව, මෝදර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සහය ඇතිව මෙලෙස දරු ප්‍රසූතිය සිදු කර තිබේ. එමෙන්ම එම මවුවරුන් හා බිළිඳුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පැවසුවාය.
ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. ලබන මස 10 වැනිදායින් පසු රට පුරා අඛණ්ඩවම ඉන්ධන සැපයීමට රජය නව වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය. ලොව 7 වන විශාලම තෙල් සංරක්ෂිතය හා මැදපෙරදිග පවතින වඩා සංවර්ධනය වූ ආර්ථිකයන්ගෙන් එකක් එක්සත් අරාබි එමීර් සතුවේ.
- Advertisement -spot_imgspot_img

Must Read

- Advertisement -spot_img