― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවෛද්‍ය ෂාෆිගේ පෙත්සමට දින නියම වෙයි

වෛද්‍ය ෂාෆිගේ පෙත්සමට දින නියම වෙයි

වඳ සැත්කම් කළේ යැයි අසත්‍ය චෝදනා මත අනිවාර්යය නිවාඩු යැවූ තමන්ට හිමි හිඟ වැටුප් හා දීමනා ලබා දෙන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා මාර්තු මස 04 වැනිදා කැඳවන ලෙස  අභියාචනාධිකරණය නියම කළේය.

එම පෙත්සම අද (17) විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර වෛද්‍ය ශාෆි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව සිදුකරනු ලබන මූලික විනය පරීක්ෂණය කුරුණෑගල මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා විසින් සිදුකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව කියා සිටියේය.

එම වෛද්‍යවරයා පක්ෂපාතී පුද්ගලයකු බවත් ඔහු සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමට කරුණු දක්වා ඇති බවත් එම නීතිඥවරයා සඳහන් කළේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 58 සහ 61 වගන්ති ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිසම හමුවේ පවතින කරුණක් පිළිබඳව කරුණු සලකා බැලීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව තර්ක කළේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 4 වනදා කැඳවන ලෙස නියම කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව,එහි හිටපු අධ්‍යක්ෂ ඒ.එම්. එස්.වීර බණ්ඩාර, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.

කුරුණෑගල  ශික්ෂණ රෝහලේ සේවය කළ තමන් වඳ සැත්කම් කළ බවට අසත්‍යය සහ චෝදනා එල්ල වූ බව සඳහන් කරන පෙත්සම්කරු ඉන්පසුව අනිවාර්ය නිවාඩු යැවුණු බවත් සඳහන් කළේය.

එහෙත් තමන්ට හිමි විය යුතු හිඟ වැටුප් හා දීමනා මෙතෙක් ගෙවා නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු එම දීමනා සහ හිඟ වැටුප් ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටී.