කොළඹ ඇතුළු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නාගරික පුනර්ජනන වැඩසටහන (URP) සහ කොළඹ නාගරික පුනර්ජනන වැඩසටහන සඳහා සහාය ව්‍යාපෘතිය (SCURP) සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (23) අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
නාගරික අවිධිමත් ජනාවාස වෙනුවට මහල් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ වූයේ අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2010 වසරේ බව මෙහි දී සිහිපත් කළ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම මහතා 2024 වනවිට නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් නිවාස 50,000ක් සාදා නිම කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.
ප්‍රධාන වශයෙන් කොළඹ අඩු පහසුකම් නිවාස මහල් නිවාස බවට පත් කිරීම මෙහි ඉලක්කයයි. ඒ අනුව නිවාස ඒකක 14,611ක් දැනටමත් ජනතා අයිතියට පත් කර ඇති අතර තවත් නිවාස 5590ක් දැනට ඉදිකරමින් තිබෙන බව ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම මහතා මෙහි දී අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්නේය. මෙම වැඩසටහන්වල පළමු කාර්තුවට අදාළ ප්‍රගතිය සහ ඉදිරි කාර්තු වලට අදාළ අපේක්ෂිත ප්‍රගතිය නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදි.