― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරට බංකොලොත් කළ අය ගෙදර යැවිය යුතුයි

රට බංකොලොත් කළ අය ගෙදර යැවිය යුතුයි

විපක්ෂය කියූ පරිදි රට ආර්ථික හා මූල්‍ය කළමනාකරණ අර්බුදයෙන් ගොඩගැනීමට රජය කටයුතු නොකළ හෙයින් ඉන්ධන, විදුලිය හා අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟවී ඩොලර් නැතිව රට බංකොලොත් තත්ත්වයට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (02) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රටේ යුද්ධයක් හෝ ත්‍රස්තවාදයක් නැති මොහොතේ ඩීසල් නොමැතිව ඉන්ධන පිරවුම් හල්වල දිගු පෝලිම් දක්නට තිබේ. ඉනධන රැගත් නැව් වරායේ පිටත නැංගූරම් ලා තිබිය ද ඒවා රට තුළට ලබා ගැනීමට මහ බැංකුව සතුව ඩොලර් නැත. එහෙත් රටේ ඩොලර් හිඟයක් නැතැයි මහ බැංකු අධිපති පවසයි.‍

ඒ වගේම ගෑස් කිරිපිටි තිරිඟු පිටි සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට නොහැකිව ජනතාව දුක් විදිති. ඒ මදිවට විදුලි බලාගාරවලට අවශ්‍ය ඩීසල් නැතිව විදුලියද නොමැතිව ජනතාව කරුවලේ අතපතගාමින් සිටිමේ අර්බුදයක් නිදහස් ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී නොමැත.

රටේ හැමතැනම ඉන්ධන ලබා ගැනීම සඳහා කිලෝමීටර් ගණනට වාහන පෝලිම් තිබේ. ලබන 7වනදා සිට අරඹන දෙවන පාසල් වාරයේදී ළමුන් ප්‍රවාහනය කරවන තිස්දහසකට අධික පාසල් වෑන් සහ බස් රථ වලට ඉන්ධන සැපයීමට වැඩපිළිවෙලක් තවමත් සකසා නැති බැවින් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් සහ ගුරුවරුන්ට බාධා පැමිණිය හැකිය.

රජය සතුව ඩොලර් නොමැති නිසා තෙල් ලබා ගන්නේ රීලෝඩ් ක්‍රමයටයි. දැන් රීලෝඩ් ක්‍රමයට ඉන්ධන ලබා ගැනීමට නොහැකි තරමට ඩොලර් හිඟයක් පවතින බැවින් රට බංකොලොත්භාවයට පත්ව තිබේ.

රටට වඩා බලය සඳහා කෑදරකමින් කටයුතු කරන මේ රජයට මේවාට විසඳුමක් නැති බව මුල සිටම විපක්ෂය තේරුම් ගත්තා.

එම නිසාම විදේශ රාජ්‍ය ණය ප්‍රතිව්‍යහුව ගත කර ඒ ඩොලර් රටේ අවශ්‍යතාවය සඳහා වැය කිරීමට ප්‍රමුඛතාවය දෙන්නයි විපක්ෂය රජයට ප්‍රකාශ කළ ද රජයේ ප්‍රමුඛතා වූයෙ ද්විතීය වෙළඳපොලේ අපේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදීගෙන ඇති තම සහචරයන්ට වෙලාවට එම ණය ආපසු ගෙවීමය.

එම නිසාම අපගේ ස්වෛරිත්ව බැඳුම්කර මිලදී ගැනීමට ගැනුම්කරුවන් ඉදිරිපත් නොවන තත්ත්වයක් උදාවී තිබේ.

මෙම පසුබිම යටතේ සාර්ව ආර්ථික ක්‍රමය කළමනාකරණය කර නොහැකිව බැංකු පද්ධතිය ද දුර්වල තත්ත්වයට පත් වී ඇති අතර රටක් වශයෙන් පිටස්තර ආර්ථික පීඩන වලට මුහුණ දීමට නොහැකි තත්ත්වයට ද රට පත් කර තිබේ.මෙසේ රටේ ආර්ථික මර්මස්ථාන කඩා වැටීමට ඉඩ සැලසූ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ වගකිවයුත්තන් තම තනතුරු වලින් ඉවත් කර ගෙදර යැවිය යුතු යැයි ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය හේතුවෙන් විදේශ ආයෝජකයන් පැමිණීම කෙසේ වෙතත් දේශීය ආයෝජකයන් තම ආයෝජන වෙනත් රටවලට ගෙනයාමේ ප්‍රවනතාවයක් පවතින්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.

කොරෝනා උවදුරෙන් පසු වද ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවක් දකින්නට නොපෙනෙන බැවින් එම ක්ෂේත්‍රයේ නිරත ශ්‍රී ලාංකික ආයෝජකයන් දැන් තම ආයෝජන මාලදිවයිනට ගෙන ගොස් තිබීම කණගාටුදායක යැයි කීය.

රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳව කොරෝනාව මත සැඟවෙන්නට උත්සාහ දැරූ රජය දැන් රුසියානු යුද්ධය ද හේතුවක් කරගෙන සිටින බවක් නිරීක්ෂණය වේ.

වර්තමාන ආර්ථික ප්‍රශ්න වලට රජයේ වගකිවයුතු පාර්ශවයන්ගෙන් කිසිදු පිළිතුරක් නැත. විපක්ෂය මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්න වලට පිළිතුරු දීමට මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුව වෙත එන්නේ ද නැත. ඇයි නොඑන්නේ යැයි ප්‍රශ්න කළ විට මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට යන්නට සූදානම් වෙනවා යයි ප්‍රකාශ කළ ද ඉන්දියාවට නොපැමිණෙන්නැයි ඉන්දියාවෙන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි අපට වාර්තා වේ.

ප්‍රමුඛතා පදනම මත ආර්ථිකය මෙහෙයවීම පසෙකලා තම සහචර ණයකරුවන්ගේ ණය බේරීම නිසා අර්බුදයට පත් වූ රට යළි ගොඩ ගැනීමට නම් ප්‍රමාදවී හෝ ණය ප්‍රතිව්‍යහුව ගතකර ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට රජය ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු යැයි ඉරාන් වික්‍රමරත්න මහතා දැඩි සේ අවධාරණය කළේය.