― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාඨලීගේ නඩුවක් කල් යයි

පාඨලීගේ නඩුවක් කල් යයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධියකට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අප්‍රේල් මස 4 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකාර චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විත්තිකරුට සාධාරණ නඩු විභාගයක් ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ලේඛන කිහිපයක් ලබාදෙන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලීම් කළත් ඉන් කොටසක් පමණක් ලැබී තිබෙන බව සඳහන් කළා.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් විසින් පොලිසිය වෙත ලබාදී ඇති ඇතැම් ප්‍රකාශවල පිටපත් තමන් වෙත මේ දක්වා ලබා දී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම ප්‍රකාශ නොමැතිව නඩුව මෙහෙයවීමෙන් තම සේවාදායකයාට අගතියක් සිදු විය හැකි බව පෙන්වා දුන්නා.

එබැවින් තමන් ඉල්ලා සිටින ලේඛන පැමිණිල්ල විසින් ලබා දෙන තුරු මෙම නඩුවේ සාක්ෂි විභාගය කල් තබන ලෙස ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ විත්ති පාර්ශවය ඉල්ලාසිටි ලේඛන වලින් බහුතරයක් මේ වන විටත් ලබාදී ඇති බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා” නඩු විභාගයක් පවත්වන විට පැමිණිල්ල විසින් විත්තියට අවශ්‍ය කරන ලේඛන ලබාදීම යුතුකමක්. නඩුවක දී පැමිණිල්ල විසින් විත්තිය වෙත සියලු ලේඛන ලබා දිය යුතු බව මා විශ්වාස කරනවා. එය පැමිණිල්ල විසින් කළයුතු කටයුත්තක්. එය කරන ලෙස පැමිණිල්ලට බල කිරීමට අධිකරණයට හැකියාවක් නැහැ. කෙසේ වෙතත් විත්තියට අවශ්‍ය ලේඛනයක් ලබා නොදීම තුළින් අගතියක් වූවොත් එහි වාසිය විත්ති පාර්ශවය වෙත ලබාදීමට අධිකරණය කටයුතු කරනවා. අධිකරණය තුළදී විත්තිකරුට අගතියක් නොවීමට වග බලා ගන්නවා”යනුවෙන් ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අප්‍රේල් මස 4 වන දා දක්වා කල් දැමීමට තීන්දු කළා.

එදිනට පෙර අදාල ලේඛන විත්ති පාර්ශවය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් පැමිණිල්ලට දැනුම් දුන්නා.

අද දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා අවවාද කළා.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා
“ස්වාමීනි ඉකුත්දා 18 වනදා නඩු විභාගය අවසන් වීමෙන් පසුව නීතිඥවරු දෙදෙනෙකු මෙම අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ සිදු කර තිබෙනවා. එම ප්‍රකාශ වලින් ඔවුන් සඳහන් කර තිබෙනවා මෙම නඩුව දේශපාලන නඩුවක් බව. සාක්ෂිකරුට ගිරවෙක් වගේ සාක්ෂි කටපාඩම් කර කියවා දී ඇති බවත් ඔවුන් විසින් ප්‍රකාශ කර තිබෙනවා. මේක භයානක තත්ත්වයක්. මෙම නීතිඥවරුන්ගේ ප්‍රකාශ සමාජ මාධ්‍ය කාලවලත් පළවුණා. මේක අධිකරණයට කළ බලපෑමක්. අනාගතයේ දී සාක්ෂි දීමට නියමිත පුද්ගලයින්ගේ මනසට ඇතුළු කරනවා මෙම නඩුව දේශපාලනය නඩුවක් කියා.”යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අදාළ ප්‍රකාශය අඩංගු සංයුක්ත තැටියක් ද අධිකරණයට ඉදිරිපත් කළා.

මීට ප්‍රතිචාර දක්වමින් විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළා.

තම නීතිඥ මණ්ඩලයේ කිසිවකු මේ ආකාරයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වා ප්‍රකාශ නිකුත් කොට නොමැති බවත් පාරේ තොටේ සිදුවන දේවල් පාලනය කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය පළ කළ විනිසුරු දමිත් තොටවත්ත මහතා අධිකරණය තුළ හැසිරීමේදී අධිකරණයේ ගෞරවය ආරක්ෂා වන පරිදි සියලු දෙනා කටයුතු කිරීමට වගබලා ගත යුතු බව සඳහන් කළා.

නීතිඥවරුද සිය වෘත්තිය ගරුත්වය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් එය සතුටුදායක තත්ත්වයක් බව සඳහන් කළ විනිසුරු දමිත් තොටවත්ත මහතා මේ සම්බන්ධයෙන් අනාගතයේ දී විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් සුදුසු නියෝග නිකුත් කරන බවත් සඳහන් කර සිටියා.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16 ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.