― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsආරක්ෂක ලේකම්ට අමතක වුණු දෙයක් හිටපු DIG සිහිපත් කරයි

ආරක්ෂක ලේකම්ට අමතක වුණු දෙයක් හිටපු DIG සිහිපත් කරයි

විශ්‍රාමික නියෝජය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න වෙත ලිපියක් යවා තිබෙනවා.

එම සටහන පහතින්,

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා වෙත විවෘත ලිපියක්

ආරක්ෂක ලේකම්තුමනි ,

මෑත කාලයේ ශ්‍රී ලංකාව තුල සිදුවූ බරපතලම මෙලෙච්ඡ මිනිස් ඝාතනය ලෙස 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාර මාලාව සැලකිය හැක. ශ්‍රී ලාංකීය මෙන්ම විදේශිකයන්ද ඇතුලු සාමකාමි පුරවැසියන් 229 දෙනෙකුට ජීවිත අහිමි කරමින්, තවත් සිය ගණනකට මාරාන්තික තුවාල සිදු කර මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීමට මෙම ප්‍රහාරය සමත් වූ බව අප සැමට නොරහසකි.

ප්‍රහාරය සිදු මුල් අවස්ථාවේ සිටම ප්‍රහාරයට ලක්වූ වින්දිතයන්ට සහන සැලසීමට අතිඋතුම් කාදිනල් හිමිපාණන් එදා සිට පුරා වසර තුනක් ගතවීමෙන් පසුවත් මේ මොහොත වනතුරුත් සිය බැටළු රැළට නායකත්වය මෙන්ම ආරක්ෂාවද සලසන සැබෑ එඩේරකු ලෙස මිලේච්ඡ ඝාතන සිද්ධියට වගකිව යුත්තන් සහ එය පසුපස ඇතැයි සැක කරන දේශපාලන කුමන්ත්‍රණය හෙළි කර ගැනීමට අපිරිමිත සටනක යෙදී සිටී. මෙරට තුළ පමණක් නොව ජාත්‍යන්තරය වෙත ද තම හුදෙකලා සටන පුළුල් කිරීමට මේ වන විටත් එතුමා සමත්ව සිටින බව අප කාටත් නොරහසකි .

මෙවැනි තත්ත්වයක් හමුවේ රටේ ආරක්ෂාව භාරව සිටින ප්‍රධාන සිවිල් නිලධාරියා ලෙස ඔබ පසුගිය දිනක පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමිපාණන් වෙත දන්වා සිටියේ තැන් තැන් වල කතා නොපවත්වා දන්නා දෙයක් වේ නම් මෙම සිද්ධීන් සම්බන්ධව පරීක්ෂණ කටයුතු පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොහොත් සීඅයිඩියට දන්වන ලෙස ය. එය එක්තරා ආකාරයක අභියෝගයක් ලෙස ද සැලකිය යුතු අතර මේ වනවිටත් කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙත සාධාරණයක් ඉටු කිරීම සඳහා සීඅයිඩීය නොහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔබ්බට මෙම පරීක්ෂණය රැගෙන ගොස් ඇත්තේ සිද්ධිය සිදුවී වසර තුනක් ගතවීමෙන් පසුවත් මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය පරික්ෂා කිරීමේදී මෙරට නෛතික පද්ධතිය තුළ එතුමාට සාධාරණයක් බලාපොරොත්තු වීමට නොහැකි තත්වයක් යටතේ බව ඔබට මතක් කර දීමට කැමැත්තෙමි.තවද මෙම පරීක්ෂණ කටයුතු සිදුවන ආකාරය සහ ඒ තුළ ඇති හිදැස් මෙන්ම දේශපාලනමය අතපෙවීම් ගැනත් පසුගිය වසර තුන පුරාවටම කාදිනල් හිමිපාණන් ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය තුළින් මහජනතාවට හෙළි කර ඇතත් එවන් කරුණු වලට අදාලව සාර්ථක පිළිතුරක් ලබා දීමට මෙරට බලධාරීන් මෙතෙක් අපොහොසත් සිටින බවත් කාදිනල් හිමිපාණන් ගේ ඉල්ලීම් “බිහිරි අලින්ට වැයෙන විනා” බවට පත්වී ඇති බවත් ඔබට මතක් කර දීමට සිදු වීම කනගාටුදායක තත්ත්වයක් බව සඳහන් කරමි. එබැවින් රටේ ආරක්ෂාව භාරව සිටින ප්‍රධාන සිවිල් නිලධාරි තනතුර වන ආරක්ෂක ලේකම් තනතුර හොබවන ඔබ විසින් කළ යුතුව ඇත්තේ මෙම පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කර මෙම සිද්ධීන් වලට වගකිව යුත්තන් සියල්ල රටට හෙළි කිරීම විනා කාදිනල්තුමා ට අභියෝග කිරීම නොවේ .

කතෝලිකයෙකු මෙන්ම වසර හතළිහක් මෙරට රාජ්‍ය සේවයට සම්බන්ධව සිටි රාජ්‍ය නිලධාරියකු ලෙසද මේ අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඉතා වැදගත් ඉසව්වකට ඔබගේ අවධානය යොමු කිරීමට සුදුසු යයි මම අදහස් කරමි. මෙම විවෘත ලිපිය ඔබ වෙත යොමු කිරීමට ප්‍රධාන හේතුව වන්නේද එම වැදගත් කරුණු සම්බන්ධව ඔබගේ අවධානය යොමු කිරීමයි .

ශ්‍රී ලංකා පොලිසියේ ජේෂ්ඨ තනතුරක් දැරෑ නිලධාරියෙකු වන මා දන්නා ආකාරයට පාස්කු ප්‍රහාරය සිදු කළ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන “සහරාන් හෂීම්” අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය තුළ ක්‍රියාත්මක වූ ප්‍රධානම පුද්ගලයා වූයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ එවකට අධ්‍යක්ෂකවරයා සිටි මගේ සමකාලීනයකු වන නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාය. එතුමා හැර වෙනත් පොලිස් නිලධාරියකු හෝ කණ්ඩායමක් සහරාන් හසීම් පසුපස ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවක් ජේෂ්ඨ පොලිස් නිලධාරියකු ලෙස මා නොදන්නා බව සඳහන් කරමි .
සහරාන් සම්බන්ධ සියලුම විමර්ශන කටයුතු නාලක සිල්වා සිදු කළා පමණක් නොව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය අධිකරණය වරෙන්තු පවා ලබා ගැනීමට ඔහු සමත්ව සිටියේය. මේ ආකාරයට නාලක සිල්වා කටයුතු කරමින් සිටියදී කුප්‍රකට නාමල් කුමාර නාටකය කරළියට පැමිණි අතර එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සීඅයිඩිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.මෙම සිදුවීම් මාලාව සිදුවූයේ එවකට ජනාධිපතිවරයා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා නීති විරෝධී ලෙස අග්‍රාමාත්‍ය තනතුරෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ සිද්ධීන් මාලාවට සමගාමීවය.
මෙම අත්අඩංගුවට ගැනීම නාලක සිල්වා ගේ කටයුතු අකර්මණ්‍ය කිරීමටත් වඩා ඔහු නායකත්වය දුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රිය කිරීමට සමත් වූ බව කිව යුතුය.බලයේ සිටින ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලද පොලිස් නිලධාරියකු නායකත්වය සැපයූ කොට්ඨාශයක නිලධාරීන් දෙස පොලිස් නිලධාරින් මෙන්ම සිවිල් පුරවැසියන් ද එම වකවානුවේ සලකනු ලැබුවේ දරුණු ගණයේ අපරාධ කරුවන් කණ්ඩායමක් ලෙස බව සඳහන් කරන අතර මෙම අත්අඩංගුවට ගැනීම සිදු සිදුවී මාස කීපයක් යනතුරුත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් කිසිඳු අත්අඩංගුවට ගැනීමක් හෝ විමර්ශනයක් සිදු නොකළ බව මා හොඳින්ම දන්නා කරුණක් ලෙස සඳහන් කරමි .

මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධීන් සම්බන්ධ පහත සඳහන් කරුණු එකල මුද්‍රිත විද්‍යුත් මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද විශාල ප්‍රසිද්ධියක් සහිතව ප්‍රචාරය වූ බව ඔබට මතක ඇතැයි සිතමි
ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූ ඝාතනයන් සඳහා නාලක සිල්වා විසින් තෝරා ගත් පොලිස් කණ්ඩායමක් මඩකලපුව ප්‍රදේශයට පිටත් කර යැවීම.

දිග දුර මෙහෙයුම් බලය සහිත ගිනි අවි ලබා ගැනීමට නාලක සිල්වා විසින් පොලිස්පතිවරයාගේ ඉල්ලුම් කිරීම.
එවකට අග්‍රාමාත්‍යවරයා ව සිටි රනිල් වික්‍රමසිංහ සමඟ මෙම කුමන්ත්‍රණය සම්බන්ධව සාකච්ඡා කිරීම.
විදේශගතව සිටින ඝාතන කුමන්ත්‍රණ කරුවෙකු වන තුෂාර පීරිස් නමැත්තකු සම්බන්ධ සිදුවීම්
කුප්‍රකට පාතාල අපරාධකරුවකු වූ “මදුෂ්” නැමැත්තා මෙම ඝාතන සිද්ධීන් සඳහා යොදවා ගැනීමට සැලසුම් කිරීම.

මෙම සිද්ධීන් ඇතුළත් හඬ පට එකල නාමල් කුමාර විසිනි විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මහජනතාව වෙත වාදනය කර ශ්‍රවණය කිරීමට සැලැස්වූ අතර මෙම ඝාතන කුමන්ත්‍රණය ප්‍රබල භාවය ඒත්තු ගැන්වීමට එකල විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය ද විශාල උත්සාහයක් දැරූ බව ද සඳහන් කිරීමට කැමැත්තෙමි.

මෙම කුමන්ත්‍රණ සිද්ධීන් සම්බන්ධව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගෙන ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධ ඔහු රිමාන්ඩ් භාරයට පත් කළ අතර මේ හේතුවෙන් ඔහු යටතේ ක්‍රියාත්මක වූ සහරාන් හෂීම් ඇතුළු ඇතුලූ ත්‍රස්ත කල්ලිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් එහෙම පිටින්ම අඩාල වීම සිදුවිය. නාලක රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී සහරාන් තමන්ට රිසි සේ දිවයින තුළ ඔබ මොබ සංචාරය කරමින් ඔහුගේ දුෂ්ඨ අරමුණු ඉටුකර ගැනීමට ක්‍රියා කළ අතර මෙම නාටකයේ කූටප්‍රාප්තිය සටහන් කිරීම සිදුවූයේ 2019 අප්‍රියෙල් 21වන දින කටුවාපිටිය ,කොච්චිකඩේ ඇතුළු කතෝලික දේවස්ථාන දෙකක් සහ මඩකලපුවේ (siyon)සියෝන් ක්‍රිස්තියානි දේවස්ථානය, කොළඹ ෂන්ග්‍රි-ලා සහ කිංස්බරි හෝටල් ඇතුළු ස්ථාන 5කට ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සිදු වූ ජීවිත හා දේපල විනාශ යයි.
මෙම සිද්ධි මාලාව සිදුවීමෙන් පසුව රටේ ජාතික ආරක්ෂාව ප්‍රබල ලෙස බිඳවැටීමේ තත්වයක් උද්ගත වූ අතර ප්‍රහාරය සිදු වී මාස කීපයක් ගතවීමෙන් පසුව පැවති ජනාධිපතිවරණය තුළින් නාලක සිල්වා විසින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලද සැලකුණු එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා හැට නව ලක්ෂයකට අධික ජනතා කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ දසවන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ අතර ජනාධිපතිවරනයෙන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඉහතින් සදහන් කළ ඝාතන කුමන්ත්‍රණයේ තවත් ඉලක්කයක් බවට පත්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පාලක පක්ෂය සමග සන්ධානගතව තරග කරමින් පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීම සිදුවිය .

මෙම සියලු මැතිවරණ ජයග්‍රහණ වල ප්‍රතිඵලයක් ලෙස ඝාතන කුමන්ත්‍රණයන්හි ඉලක්ක බවට පත්ව සිටි ප්‍රධාන ප්‍රභූන් දෙදෙනාම රටේ පාලන තන්ත්‍රය හොබවන ප්‍රධාන තනතුරුවලට පත්වූ අතර, රටේ ආරක්ෂාව භාරව සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ප්‍රධාන රාජ්‍ය නිලධාරි තනතුරට පත් වීමේ වරම ඔබ වෙත ද උදා විය .
මෙම තත්වය යටතේ විධායක ජනාධිපතිවරයා විසින් තමා ඇතුළු ප්‍රභූන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලද සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කටයුතු ඉතා ඉක්මනින් සිදු කිරීමට උපදෙස් දී එවැනි ඉතා දරුණු ගණයේ සිද්ධීන් මාලාවකට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට ප්‍රමාදයකින් තොරව පත් කරනු ඇතැයි අපි සැම උකටලීව බලාපොරොත්තු සහගතව සිටිමු

1964 වර්ෂයේ එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඝාතනය කර බලය රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා හමුදා නායකයන් විසින් සිදුකරන ලද අසාර්ථක හමුදා කුමන්ත්‍රණය මේ අවස්ථාවේදීය අපට සිහි වූ අතර ඒ අවස්ථාවේදී පාලකයන් ක්‍රියා කළ ආකාරයට සියලු විමර්ශනයන් ඉතා ඉක්මනින් අවසන් කර කිසිවකුගේ නිලය බලය හෝ තත්ත්වය නොසලකා කුමන්ත්‍රණකරුවන් ජාතිය ඉදිරියේ නිරුවත් කර ඔවුන්ට හිමි නිසි දඬුවම් ලබාදීමේ සිද්ධිය අපගේ මතකයෙන් ඈත් කිරීමට තවම කාලය සමත්වී නැත. මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධීන් සම්බන්ධව ද ඉතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය මැතිණිය ක්‍රියා කළ ආකාරයට ක්‍රියා කර මෙම කුමන්ත්‍රණය සියලු තතු ජනතාව ඉදිරියේ ඉදිරියේදී හෙළිදරව් කර වරදකරුවන්ට නිසි දඬුවම් ලබාදෙනු ඇතැයි මහජනතාව බලාපොරොත්තුව සිටින ලදී මහජනතාව එසේ බලාපොරොත්තුව සිටියද මෙම ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සිදුවී වසර තුනහමාරකටත් වැඩි කාලයක් ගතවී ඇති අද වන විටත් එම විමර්ශන කටයුතු ඉතා මන්දගාමීව සිදුවන බව පැහැදිලිය.

පසුගිය දිනෙක ඔබ විසින් කරන ලද ප්‍රකාශයක් අනුව මෙම විමර්ශන කටයුතු සම්බන්ධව නීතිපති උපදෙස් විමසා ඇති බව සඳහන් කිරීම නිරීක්ෂණය වූ අතර ඕනෑම සිද්ධියක් යටගැසීමට සිදුකල හැකි ප්‍රධාන ක්‍රියාමාර්ගය අතර නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කිරීම හෝ ,කොමිසමක් පත් කර එම කොමිෂන් වාර්තාව කිසිදා එළි නොදැක්වීම තුලින් එය සාර්ථකව සිදුකළ හැකි බව මෙරට සාමාන්‍ය ජනතාව හොඳින් අවබෝධ කරගෙන සිටින බව ඔබට මතක් කරදීමට කැමැත්තෙමි.

එබැවින් රාජ්‍ය ආරක්ෂාව භාරව සිටින ප්‍රධානම සිවිල් නිලධාරියා ලෙස මෙම සිද්ධීන් මාලාව හා බැඳුණු පහත සඳහන් ප්‍රශ්න වලට ඔබගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි.

  1. නාමල් කුමාර විසින් හෙළි කරන ලද ඝාතන කුමන්ත්‍රණ සිද්ධීන්වල වර්තමාන විමර්ශන තත්ත්වය ඔබ විසින් අප්‍රමාදව රටට හෙළි කරන්නේ ද ?

2.මෙම සාපරාධි ක්‍රියා දාමය සිදුවී වසර තුනකට වැඩි කාලයක් ගත වී ඇතත් ඒ සම්බන්ධව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හෝ එයට සම්බන්ධ යැයි සඳහන් කිසිදු සැකකරුවකුට වේ මේ වන තුරුත් අධිකරණය ඉදිරියේ නඩු පවරා නැත්තේ ඇයි?

  1. නාමල් කුමාර විසින් හෙළිකරන ලද එම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධ සියලු කරුණු නිවැරදි බවට විමර්ශකයන් විසින් තහවුරු කර ඇද්ද? එසේ නම් මෙම සිද්ධියට සම්බන්ධව අනෙක් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරන්නේ ඇයි? අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් ට මෙතෙක් අධිකරණය ඉදිරියේ නඩු පැවරීම ප්‍රමාද වීමට හේතු වූ කරුණු මොනවාද ?

4.නාමල් කුමාර විසින් හෙළි කරන ලද කරුණු සත්‍යයෙන් බැහැර ඒවා බව විමර්ශකයන් අවබෝධ කරගෙන සිටී ද? එසේ නම් මේ වනතුරු ඔහුට අසත්‍ය පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් නඩු නොපැවරීම ට හේතු මොනවාද ?

  1. ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන ඉලක්ක බවට පත්ව සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනට මෙරට විධායක ජනාධිපති වරයා වන අතර අනෙක් පුද්ගලයා හිටපු ජනාධිපතිවරයකු මෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වෙයි වේ එබැවින් එම ජනාධිපතිවරයාගේ නායකත්වය දරන රජයක් යටතේ වසර තුනක් ගත වී හෝ මෙම විමර්ශන වල සත්‍යතාවය හෙළිකරගෙන අපරාධකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට ක්‍රියාත්මක නොවීමට ප්‍රධාන වූ හේතු කවරේද ?

ප්‍රියන්ත ජයකොඩි
ශ්‍රී ලාංකේය පුරවැසි, විශ්‍රාමික රාජ්‍ය සේවක