මාධ්‍යවේදියා - 07:05


English English සිංහල සිංහල

 

ඕනේ රස්තියාදුකාරයකුට ගෝල්ෆේස් ගිහින් වීරයෙක් වෙන්න පුළුවන්

ඇත්ත අරගලය, අර්බුදය අරාජිකත්වයේ තෝතැන්න බවට පත්වීමට ඉඩ නොදී එය රට වැරදි ගමන් මාර්ගයෙන් එළියට ගැනීමේ තෝතැන්න බවට පත්කරගැනීම බවත් තමන් අද පවරා ගෙන ඇත්තේ එම සබුද්ධික දේශපාලන භූමිකාව මිස අන් කවරක්වත් නොවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
ඒ මහතා මෙසේ අවධාරණය කළේ බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේ පැවැති ජානිපෙ අධිරාජ්‍ය විරෝධී මැයි දින සැමරුමෙහි සැමරුම් දේශනය සිදුකරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“අප 133 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් සිටින්නේ ශ්‍රී ලංකාව ඉතාමත් බරපතළ සමාජ, ආර්ථික දේශපාලන අර්බුදයක ගොදුරක් බවට පත්ව සිටියදීයි. අපේ රට ඉතිහාසය පුරා විවිධ අර්බුදයන්ට මුහුණ දී තිබෙනවා. නමුත් ඔබේත්, මගේත් ජීවිත කාලයේ අත්විඳීමට සිදුව ඇති බරපතළම අර්බුදය තමයි මේ නිර්මාණය වී තිබෙන්නේ. එම අර්බුදය විසින් දේශපාලන පිටිය පරිවර්තනයකට ලක් කරමින් තිබෙනවා; දේශපාලන බලවේග වෙනසකට භාජනය කරමින් තිබෙනවා. ඒ වගේම සමාජයේ ඉතාමත් සුළුතර කල්ලි කණ්ඩායම් ස්වකීය පාපිෂ්ඨ න්‍යාය පත්‍රයන් ජනගත කිරීමට මේ අර්බුදය යොදා ගනිමින් තිබෙනවා.

‘ගාලුමුවදොර අරගල බිම’

අද වැඩ කරන ජනතාවට වඩා මාර්ගයේ සටනේ ඉන්නේ මධ්‍යම පාන්තික ජනතාව. ඔවුන්ගේ සාමාන්‍ය ජීවන පැවැත්මට අද අභියෝගයක් එල්ල වී තිබෙනවා. අද ‘ගාලුමුවදොර අරගල බිම’ කියා එකක් තිබෙනවා. ඒ අරගල බිම තෙල් නැති නිසා, ගෑස් හිඟය නිසා, විදුලි කප්පාදුව නිසා කැඳවන ලද අරගල බිමක්. නමුත් ඒ බිම එතැනින් නොනැවතී බෞද්ධ විරෝධී සටන් පාඨ ඔසවා තබන, බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිමාවේ ඇස් කළු පටියකින් බැඳ දමන තැනක් බවට පත් වී තිබෙනවා. මේ අර්බුදය විසින් ඇති කොට තිබෙන විෂම තත්වය හේතුවෙන් ඇතමුන් එවැනි ක්‍රියාමාර්ග තෝරන තැනට පරිවර්තනය වෙමින් තිබෙනවා.

‘සම්‍යග් දෘෂ්ටියෙන් බලමු!’

ඒ නිසා තමයි අපි විශ්වාස කරන්නේ ‘මේ අර්බුදය දෙස ප්‍රයෝජ්‍යවාදී ඇසකින් නොබැලිය යුතුයි’ කියා. ආදිවාසී නායකතුමන් පසුගිය දිනක පවසා තිබුණා, ‘පාර්ලිමේන්තුවේ 225 මළකුණකට වහන කපුටු රැලක් වගේ’ කියා. මළකුණකට වහන කපුටො බලන්නේ මළකුණෙන් වැඩිම කොටස කෑමට ගන්න. මේ අර්බුදය දෙස එසේ නොබලා සම්‍යග් දෘෂ්ටියෙන් බැලුවොත් විතරයි වැඩකරන ජනතාව ඇතුළු සමස්ත ජනතාව ගලවාගත හැක්කේ. මේ අර්බුදය විසින් ආණ්ඩුව පලවා හැරියත් රාජ්‍යය පලවා නොහරින තත්ත්වයකට එය පත්කර ගත හැක්කේ එවැනි නිවැරදි කියවා ගැනීමකින් පමණයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ අර්බුදය පෙනෙන්නේ ‘දෙකොන පත්තු වුණු විලක්කුවක්’ වගේ. මේක අතට ගන්න එක ‘ඉල්ලන් කන වැඩක්’ කියලයි එයා හිතන්නේ. ‘මෙහෙම ගිහින් හොම්බෙන් ඇනගන්න දෙන්න ඕනේ. එතකොට මාව අඩු වියදමකින්ම රාජ්‍ය නායක පුටුවට ගෙන ඒවි’ කියලත් එයා දකිනවා. මේ අර්බුදය විසින් තමන්ට ඒ විදිහට පාර කපා දේවි, කියා එයා පටු විදිහට හිතනවා. ඉන් පෙනෙන්නේ එතුමා මෙම අර්බුදය හරියට කියවාගෙන නැහැ කියලයි. අවුරුදු විස්සකින් වෙන දේවල් මේ අර්බුදය ඇතුලේ දවසකින් දෙකෙන් සිදු වෙනවා. ඒ නිසා විපක්ෂ නායකවරයා මේ අර්බුදය දෙස ප්‍රයෝජ්‍යවාදී දෙස බලා බලාපොරොත්තු වන ජයග්‍රහණය ලබා ගත හැකි වන්නේ නැහැ.

‘කාඩ් සෙල්ලම් එපා!’

ජනතා විමුක්ති පෙරමුණ වුණත් බලනවා ඇති, ‘මේ අර්බුදයට කරගහන්න නරකයි. මේ අර්බුදය ඇතුළේ අපට බලසම්පන්න තත්ත්වයක් ඇතිකර ගත හැකියි’ කියා. එහෙම බලන අය ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවානේ. අර කෙනෙක් කිව්වේ ‘ඩොලර් ප්‍රශ්නය හරි පොඩි ප්‍රශ්නයක්නේ. අපි ඒක කඩිනමින් විසඳනවා’ කියලා. මේ අර්බුදයෙන් එක රැයින් ගොඩඑන්න පුළුවන් වෙයි, කියලා හිතලා තමන්ගේ සාම්ප්‍රදායික දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමේ කෝණයෙන් මේ දෙස බලන අයත් ඉන්නවා. නමුත් අද අපි මේ අර්බුදය සමග ඒ විදිහට කාඩ් සෙල්ලම් කරන්න ගියොත් සියලුදෙනාම පරාජිතයන් වී අපට අපේ රාජ්‍යයත් අහිමි වේවි. අපේ අසල්වැසියා අපට මේ මොහොතේ සහයෝගය ලබා දෙමින් සිටිනවා. නමුත් ඒ තුළ වෙනත් න්‍යාය පත්‍ර නැහැ, කියා අප හිතන්න හොඳ නැහැ. බටහිර රටවලටත් හොඳයි මේ අර්බුදය මේ විදිහටම පැසවමින් තිබීම. ඒ අය ඉතිහාසය තුළ කරගන්න හදලා බැරිවුණු දේවල් කරවාගන්න තැනට අපව තල්ලු කිරීමට මේ අර්බුදය යොදා ගැනීමට පුළුවන්. සාමාන්‍ය වාතාවරණයක් තුළ එකඟ නොවන දේවලට මිනිස්සු එකඟ වන වාතාවරණයක් තමයි අද නිර්මාණය වී ඇත්තේ. එවැනි සියලුදෙනා බලන්නේ මේ අර්බුදයෙන් තමන්ට වාසි සලසා ගන්න. නමුත් මේ තිබෙන අර්බුදය කෙළවර වෙන්න පුළුවන් ඒ කවුරුවත් හිතෙන විදිහට නොවෙයි.

‘ණයට අරන් සැපට කෑම’

මේ මොහොත වන විට අපේ රටේ විදේශ වත්කම් සංචිතයේ ප්‍රමාණය ගෑස් නැව් දෙකකට බිල ගෙවන තරමේ අගයක්. දැන් ඉන්න මහ බැංකු අධිපතිතුමා කියනවා ‘මේ ගන්න තීරණ මීට බොහෝ කලින් ගත්තා නම් අද මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නැහැ’ කියා. ‘ගතයුතු තීරණ මීට කලින් ගත්තානම් මේ තරම් පීඩනයකින් තොරව අපට මේ අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්කම තිබුණා. එහෙම වුණා නම් අපිට ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට යන්න තිබුණා. එවිට අපට තව ණය ගැනීමේ හැකියාව ලැබෙනවා. එහෙම වුණාම අපි පරණ පුරුදු විදිහට ණයට අරන් සැපට කාලා ඉන්නවා’ කියා හිතන පිරිසක් ඉන්නවා. කෙටිකාලීනව හිතවත් රටකින් සහයෝගය අරගෙන මේ අසීරු තත්ත්වයෙන් මිදෙන්න ඕනේ එක, ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට එන එක, හදිසි තත්ත්වයකදී ණයක් ගැනීමට හැකි තත්ත්වයක් ඇති කරගන්න එක යන කරුණු කළ යුතු දේවල්. නමුත් ඒක එකම සහ අවසාන මාවත කර ගැනීම වැරදියි.

‘බැසිල් – පීබී – ආටිගල කල්ලිය’

මේ විදිහේ විදේශ විනිමය අර්බුදයකට ලක්ව ඇති මේ රටේ අතුරු පාරවල් පවා කාපට් කරලයි තිබෙන්නේ. අවුරුදු 02කට උවමනා තාර ටික ගොඩගසාගෙන තිබෙනවා. 2021 නොවැම්බර් මාසය වැඩිම ආනයනික වියදම කළ මාසය ලෙස ඉතිහාසයට එක්ව තිබෙනවා. ඒකෙන් පෙනෙනවා ආනයනික සීමා දානවා කීවාට පාලනයක් වෙලා නැහැ, කියලා. හිටපු මුදල් අමාත්‍යවරයා, පී. බී. ජයසුන්දර හා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආටිගල ඇතුළු කල්ලියට උවමනා වුණේ මෙම ආර්ථික අර්බුදය අපාලිත තත්වයට ගෙන යන්න. එහි ප්‍රතිඵලයක් ලෙස හොම්බ බිම ඇනෙන මට්ටමට මෙම අර්බුදය මෝරලා තිබෙනවා.

‘අර්බුදයේ ප්‍රකාශනය…’

දේශපාලනඥයා රටට සාර්ව ආර්ථික මූලෝපායක් දුන්නෙත් නැහැ. මහජනයා ඉල්ලුවෙත් නැහැ. මහජනයා ඉල්ලුවාම පාර කාපට් කරලා දෙන්න, ගමට විදුලිය දෙන්න කියා දේශපාලනඥයා ණයට අරන් එම ඉල්ලීම ඉටු කරනවා. මේ විදිහට ආපු මජර ක්‍රමය ඇතුලේ නිමා නොවන බඩගින්න සහිත මිනිහෙක් නිර්මාණය වී තිබෙනවා. කවුරු මේ රටේ ආණ්ඩුව ගත්තත් ඒ මිනිහාගේ බඩ පුරවන්න වෙනවා. බඩ පුරවන්න නම් ණය ගන්න වෙනවා. ඒක තමයි කෙටිකාලීනව තිබෙන උත්තරය විදිහට කාටත් පෙනෙන්නේ. අද මේ අර්බුදය විසින් ඉල්ලන්නේ දේශපාලනතන්ත්‍රයේ පරිවර්තනයක් පමණක් නොවෙයි, සමස්ත සමාජය සිතන පතන විදිහේ පවා අත්‍යන්ත පරිවර්තනයක්. ආනයනික භාණ්ඩ හිඟය අවසන් වුණාම අර්බුදය අවසන් වෙනවාද? නැහැ. එය අර්බුදයේ ප්‍රකාශනයක් පමණයි. මේ අර්බුදයට සාමාන්‍ය ජන සමාජය, ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නා දේශපාලනතන්ත්‍රය සහ නිලධාරිතන්ත්‍රය එකට හිතලා විසඳුමක් නොදුන්නොත් මේ ගැඹුරු ප්‍රකම්පනයක් සහිත අවස්ථාව ප්‍රයෝජන නොගෙන අයාලේ යෑමට ඉඩ හැරියා වෙනවා.

‘රුපියල හතර ගාතෙන් වැටෙන හැටි’

මේ අර්බුදයට සැබෑ විසඳුමක් දීම ජනප්‍රිය සටන් පාඨවලින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ජනප්‍රිය නොවන තීරණ ගනිමින් කරන්න වෙන දෙයක්. ඒක ඇතැම් ‘අරගලකරුවන්ට’ රුචි නොවන දෙයක් වෙන්න පුළුවන්. 1977 සිට පැමිණි විවෘත වෙළඳපොළ ආර්ථික ගමන තුළ, ණයට අරන් සැපට කමින් ආපු ගමන තුළ ලොකු මධ්‍යම පන්තියක් බිහිව තිබෙනවා. ඉහළ හා පහළ ඒ මධ්‍යම පන්තිය ශක්තිමත් වන තරමට පරිභෝජනය වැඩි වෙනවා. පරිභෝජනය වැඩි වන තරමට ආනයනික වියදම ඉහළ යනවා. ආනයනික වියදම ඉහළ යන තරමට ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා. ඩොලර් ඉල්ලුම වැඩි වෙලා වෙළඳපොලේ ඩොලර් නැති වුණාම රුපියල හතරගාතෙන් වැටෙනවා. අපේ රටේ ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරය වහන්න පසුගිය කාලය තුළ ගත්තු තීරණ මොනවාද? රටට එන්න ඕනේ ඩොලර් ප්‍රමාණය හරි, නිසි පරිදි ගෙන්වාගැනීමට හෝ ගත්තු තීරණ මොනවාද? නව මහ බැංකු අධිපතිතුමා පසුගියදා එවැනි එක තීරණයක් ගෙන තිබුණා, ‘අමුද්‍රව්‍ය ගෙන්වීම කළු කඩෙන් සල්ලි අරන් කරන්න බැහැ. ඒ ගනුදෙනුව බැංකු මගින්ම කළ යුතුයි. නැත්නම් ඒවා රේගුවෙන් නිදහස් කරන්නේ නැහැ.’ කියා. එවැනි තීරණ බොහෝ කලකට පෙර ගත්තානම් මේ රටට අයිති ඩොලර් ප්‍රමාණය හෝ නීත්‍යනුකූල මාර්ගයෙන් රට තුළට එනවා, වියදම් වෙන එක පාලනය වෙනවා.

‘ගාලුමුවදොරින් වීරයන් බිහිවීම’

අර්බුදය ඇතුළෙ අරගලකරුවකු වන එක මහා අමාරු දෙයක් නෙවෙයි. අරගල භූමියට ජාතික කොඩියක් අරගෙන ගිය පොලිස් නිලධාරියා ‘වික්‍රමාන්විත කතාවක්’ කරලා වීරයෙක් වුණා. පසුව බැලුවාම එයා ගංජා කිලෝග්‍රෑම් ගාණක් ප්‍රවාහනයට සම්බන්ධ, විනය විරෝධී චෝදනා තිබෙන ‘පොලීසියේ මාටියා අංශය’ භාර කෙනෙක්. තවත් එහෙම වීරයන් වූ අය ඉන්නවා. සිත් රිදෙන නිසා මම ඒ පිළිබඳව සිහිපත් කරන්නේ නැහැ. ඕනේ රස්තියාදුකාරයකුට අද ගාලුමුවදොරට ගිහින් වීරයෙකු වෙන්න පුළුවන්. ගාලුමුවදොර සිටින බොහොම ප්‍රබුද්ධ තරුණ පිරිසට මේක අදාළ නැහැ. අර්බුදය ඇතුලේ අරගලකරුවකු වීම නොවෙයි අභියෝගය. රටත් රාජ්‍යයත් එම අර්බුදයෙන් එළියට එන විට වෙනස් මාවතක්, වෙනස් මිනිහෙක් නිර්මාණය වන තැනට ඒ අර්බුදය කළමනාකරණය කිරීමයි ඇත්ත අරගලය. සටන් පාඨ විතරක් තිබෙන අරගල, ඇත්ත අරගල නොවෙයි. මෙහෙම යන්න දීලා බලන් හිටියොත් පාලන සුක්කානම නතර වෙන්නේ සජිත් ප්‍රේමදාස ළඟ නොවෙන්න පුළුවන්. පාලන සුක්කානම නතර වෙන තැන කාටවත් තීරණය කරන්න බැහැ. අපි ඉන්නේ එහෙම අභියෝගයක් පාමුල. ආණ්ඩුවත් එක්ක තිබෙන ප්‍රශ්නය බේරාගන්න ගමන් රාජ්‍යය අරාජික වීමට ඉඩ නොදී, අර්බුදය අරාජිකත්වයේ තෝතැන්න බවට පත්වීමට ඉඩ නොදී, අර්බුදය මේ රට වැරදි ගමන් මාර්ගයෙන් එළියට ගෙන ඒමේ තෝතැන්න බවට පත්කර ගැනීමයි අද දවසේ සබුද්ධික දේශපාලන භූමිකාව වන්නේ. අද අපි පවරා ගෙන ඇත්තේ එම දේශපාලන භූමිකාවයි.

‘අපේ දේශපාලනයේ අනිවාර්ය උරුමය’

එම දේශපාලන භූමිකාව අප විසින් පවරාගන්නා විට ඊට පහර ගසන පිරිස වැඩි වන බව අප දන්නවා. නමුත් විනාශකාරී අන්තයකින් අවසන් වන සටන් පාඨ ඔසවා තැබීම වෙනුවට, රට වැටී ඇති අර්බුදයෙන් ගොඩඒමට හැකි මාවත එළිපෙහෙළි කිරීම අපි නියෝජනය කරන ජාතිකවාදී දේශපාලනයේ අනිවාර්ය උරුමයක්. රාජ්‍යය අහිමි කරගැනීමේ අවදානම ගැනීමට මේ රටේ ජාතික බලවේග සූදානම් නැහැ. ‘දළදා හාමුදුරුවන් රැකෙනවා නම්, රාජ්‍යය රැකෙනවා’ කියලයි අපේ වැඩිහිටියන් පැවසුවේ. මේ අර්බුදයට තවදුරටත් වැඩෙන්න ඉඩ දී බලා සිටියහොත් රාජ්‍යය රැක ගැනීමට ලැබෙන්නේ නැහැ. දැන් ඔය කියනවානේ ‘225ම එපා!’ කියලා. 225ම ඉවත් වුණාම මොකද වෙන්නේ? තවත් 225ක් එනවා. මේ වගේ අර්බුදකාරී අවස්ථාවන් තමයි දේශපාලන නායකයන් කිරාමැන බැලෙන අවස්ථාවන්. මෙවැනි අර්බුදයක් පටු ප්‍රයෝජන වෙනුවෙන් යොදාගන්නා කවුද? මෙම අර්බුදය ජනතාවට ජයග්‍රහණ ලබා දීමේ අවස්ථාව බවට පෙරළා ගැනීමේ ප්‍රබුද්ධ මැදිහත්වීම කරන්නේ කවුද? කියා දෙපිරිස වෙන් කොට පෙන්වා දෙන්නේ මෙවැනි අර්බුද විසිනුයි. ජාතික නිදහස් පෙරමුණේ අපි මේ අර්බුදය කල්තියා දැක්කා විතරක් නොවෙයි, ‘හොරාට නිදාගෙන හිටපු ආණ්ඩුව’ ඇහැරවන්න ඇතුලේ සටන් කළා. නමුත් ‘හොරාට නිදාගෙන හිටපු ආණ්ඩුව’ නැගිටින්නෙ නැති නිසා පසුගිය මාර්තු දෙවැනි දා ප්‍රසිද්ධියේ මේ පිළිබඳව රටටම කීවා. මේ අර්බුදයට අපාලිතව වැඩෙන්න දුන්නොත් මේ රට අරාජිකත්වයේ සහ අස්ථාවරත්වයේ ගොදුරක් බවට පත්වීම වැළැක්වීමට බැහැ. ඒ පාපකර්මයට අපට දායකවීමට බැහැ.

‘කෝපය ප්‍රධාන ගාමක බලවේගය වුනොත්…’

පොදු ජනතාවගේ කේන්තිය, ආවේගය විෂයමූලිකව අපට බොරුවක් කියා කියන්න බැහැ. තෙල්, ගෑස් නැතිවෙනකොට, විදුලිය කප්පාදු වෙනකොට, දෛනික ආදායම මදි වෙනකොට ස්වාභාවික කෝපයක් එනවා. හැබැයි ඒ කෝපයට පමණක් ඔබට මග පෙන්වීමට බැහැ. ඒ කෝපය පමණක් ඔබේ මග පෙන්වන්නා නම් අපේ රටට අනාගතයක් ඉතිරි වන්නේ නැහැ. මේ අවස්ථාව කෝපය පමණක් නොවෙයි ප්‍රඥාවත් මුල්කොටගෙන ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක්. මේ අර්බුදය විසින් වැඩියෙන්ම කරන්නේ ප්‍රඥාව අහිමි කරලා, කෝපය ප්‍රධාන ගාමක බලවේගය බවට පත් වීමට ඉඩ හැරීම. අමතක කරන්න එපා! කෝපය ප්‍රධාන ගාමක බලවේගය බවට පත් වීමට කැමති පිරිස් සිටින බව. දැන් බලන්න, ලිබියාවේ ගඩාෆිගේ පාලනය පිළිබඳව ජනතාවට කෝපයක් තිබෙන්න ඇති. ඒ කෝපය පිට කරන්න වෙලාවක් එනතෙක් බලා ඉන්න ඇති. ඒ කෝපය බටහිර උදව්පදව් සහිතව පිට කළාම මොකද වුණේ? ගඩාෆිත් ඉවරයි. ලිබියාව කියන රාජ්‍යයත් ඉවරයි. අද තිබෙන්නේ ලිබියාව කියන රට පමණයි. මතක තබාගන්න, ‘කෝපය හෝ වෛරය ප්‍රධාන ගාමක බලවේගය බවට පත් වෙන කිසිම අරගලයක් විනාශයකින් හැර ජයග්‍රහණයකින් කෙළවර වන්නේ නැහැ.’ කියා.

‘ප්‍රඥාව විසින් මෙහෙයවන අරගලය’

අපි ‘කෝපය’ ප්‍රධාන ගාමක බලවේගය වී ඇති තැනට ‘ප්‍රඥාව’ ආදේශ කරගත යුතුයි. අර්බුදය දෙස නිසි ඇසින් බැලිය යුතුයි. ඒ අර්බුදය තුළින් ජයග්‍රහණ ගෙන එන මාවත, තම අරගල මාවත බවට පත් කරගත යුතුයි. මේ රට නීත්‍යනුකූල පාලන අධිකාරියක් නැති, අරාජිකත්වයෙන්, අරාජිකත්වයට ඇද වැටුණු පිස්සන් කොටුවක් කරන එකද අරගලය? ඒ තමයි කෝපය විසින් පමණක් මෙහෙයවන අරගලය. අපට ඕනෙ කෝපය විසින් මෙහෙයවන අරගලයක් නොවෙයි, ප්‍රඥාව විසින් මෙහෙයවන අරගලයක්. එතැනට මේ අරගලය වෙනස් කරගැනීමේ අභියෝගය අපි ඉදිරියේ තිබෙනවා.

‘මහින්දට හිමි ඓතිහාසික ගෞරවය’

ලබන බදාදා පාර්ලිමේන්තුව රැස් වෙනවා. එවිට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව නව නියෝජ්‍ය කතානායකවරයකු පත් කරගැනීමට සිදුවෙනවා. දෙදෙනෙක් ඉදිරිපත් වුණොත් ස්වාධීන වූ අපේ කණ්ඩායම නියෝජනය කරන අපේක්ෂකයා බොහෝවිට ජයග්‍රහණය කිරීමට පුළුවන්. එහෙම වුණොත් ‘ආණ්ඩුවට 113 නැහැ’, කියා පෙනෙන්න පටන් ගන්නවා. ආණ්ඩුවේ සමහරු පිළිනොගන්න එක, එතැනදී පිළිගැනීමට සිදුවෙනවා. අපි නම් යෝජනා කරන්නේ එතැනට යන්න දෙන්න එපා, කියලයි. වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් පිළිබඳව අපට ඇත්තේ එක්තරා ආකාරයක වේදනාවක්. ඔහු මේ ඇතිවී තිබෙන තත්ත්වයට එක්තරා ආකාරයක වගඋත්තරකරුවෙක්. එහෙත් මේ රාජ්‍යයට අස්ථාවරත්වය කැඳවාගෙන ආ ප්‍රධානම අභියෝගය වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය පැරදවීමේ ඓතිහාසික ගෞරවය එතුමාට තිබෙනවා. නමුත් කොතරම් අනුහස් සහිත නායකත්වයක් වුවත් මහ පොළොවේ මිනිසුන්ගේ හෘද ස්පන්දනය අනුව විය යුතු වෙනස්කම් කරන්න දන්නේ නැත්නම්, සමාජයේ ඇති වී තිබෙන පරිණාමයන් අනුව අවශ්‍ය වෙනස්වීම සිදු කරගැනීමට බැරිනම්, හිතන්නේ පැරණි ගතානුගතික විදිහටම නම් එම නායකත්වය අභියෝගයට ලක් වීම වැළැක්වීමට බැහැ. මේ වෙලා තිබෙන්නෙ ඒක. එතුමා වටේ ඉන්න ‘ඇච්චො – බැච්චො ටික’ තවදුරටත් එතුමා තියාගෙන තමන්ට මොකක් හරි ප්‍රයෝජනයක් ගන්නයි බලන්නේ. සමහර පුත්තු ඉන්නවානේ අම්මා මැරුණාට පස්සේ මෘතදේහය දවස් තුනහතර තියාගෙන ගෙදර ‘බූරුවා ගහන’. එතුමා වටේ ඒ ජාතියෙ කට්ටියක් ඉන්නවා. අපට වපුරපු දේවල් තමයි අස්වැන්න හැටියට ලැබෙන්නේ.

‘අපේ වගකීම’

2019, ලක්ෂ 69 ජනවරම නිර්මාණය කිරීමට දායක වූ, අදාළ රළවේගයන් නිර්මාණය කිරීමට ප්‍රධාන වශයෙන් දායක වූ අපට වගකීමක් තිබෙනවා, මේ අර්බුදය විනාශකාරී අන්තයට තල්ලු වීමට නොදී මේ රටේ ජනතාව මේ පීඩාවෙන් මුදවා ගැනීමට. මේ අර්බුදයෙන් ගොඩඑන සම්පූර්ණ වැඩපිළිවෙළක් ජාතිය හමුවේ තබමින්, ඒ වැඩපිළිවෙළ ජයග්‍රහණය කොට, මේ අර්බුදය විසින් ප්‍රශ්න කිරීමට ලක් කොට තිබෙන වැරදි ආර්ථික මොඩලයත් එම මොඩලය විසින් සාදනු ලැබූ උග්‍ර පරිභෝජනවාදී මිනිසාත් වෙනස් කොට, නව ආර්ථික මොඩලයක් හා ඊට උචිත නව පාලන තන්ත්‍රයක් පිහිටුවන තැනට අපි මේ සටන ගෙන යා යුතුව තිබෙනවා. මහජනයාට ජයග්‍රහණ ලැබෙන්නේ ඒ මාවතේ ගියොත් විතරයි.

‘අමුතු නිරාගමිකයා’

අපි මේ රටේ වැඩ කරන ජනතාවගෙන්, ප්‍රගතිශීලී පළල් ජන බලවේගයන්ගෙන්, මේ රටට ආදරේ කරන ස්වදේශීය ජන බලවේගයන්ගෙන්, සියලු ශ්‍රී ලාංකීය ජන බලවේග වෙතින් ඉල්ලනවා, ‘මේක ප්‍රඥාව විසින් ඔබව මෙහෙයවිය යුතු වෙලාව. කෝපයට ඔබ මෙහෙයවීමට ඉඩ තබන්න එපා!’ කියා. එහෙම වුණොත් මේ රට වෙනස් ආකාරයක ලිබියාවක් බවට පත්වීමයි සිදුවන්නේ. එතැනට මේ අර්බුදය රැගෙන යාම අරමුණු කරගත් කල්ලි, කණ්ඩායම් ඇති තරම් ඉන්නවා. ඒ කල්ලි, කණ්ඩායම් අද එළියට බැහැලා. ඇතැමුන් නිරාගමික කල්ලි, කණ්ඩායම් හැටියටයි පෙනෙන්නේ. නිරාගමිකයා තමන් ආගමක් අදහන්නෙත් නැහැ. අනුන්ගේ ආගම්වලට ගරහන්නෙත් නැහැ. මේ නිරාගමිකයා එහෙම නැහැ. ඔහු බෞද්ධ විරෝධීයි. මේ විදිහේ එක් එක් රස්තියාදුකාර කල්ලි, දේශපාලන වශයෙන් විසකුරු, පාතාල කල්ලි මේ අර්බුදය පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකාව ලිබියාව වැනි රාජ්‍යයක් බවට පත් කරන්නයි. එතැනට මේ අර්බුදය දිග්ගැසීමට දීම ඓතිහාසික වරදක්.

‘ඒක කරන්න පුළුවන්’

ඒ විනාශකාරී අන්තයට යන එක වැළැක්වීමට ජනාධිපතිවරයාගේ සිට සියලුදෙනා තීන්දු ගත යුතුයි. දේශපාලන පක්ෂ, දේශපාලන බලවේගවලට වගකීමක් තිබෙනවා එතැනට යන එක වැළැක්වීමට. මේ රටේ අනාගත අභිවෘද්ධිය පතන සෑම පුරවැසියකුටම අයිතියක් තිබෙනවා, මේ රට එතැනට යන එක නතර කිරීමට. ඒ සියලුදෙනාටම ඒ වගකීම පෙන්වාදෙමින්, ඒ සියලුදෙනාම ඒ දෙසට ප්‍රශස්ත ලෙස මෙහෙයවමින්, මේ අරාජිකත්වයෙන් අරාජිකත්වයට ඇදගෙන යන රට, නැවත පාලිත තත්ත්වයට අරගෙන ඇවිල්ලා, මේ වැරදි ආර්ථික මොඩලයෙන් ගැලවී, නිවැරදි ආර්ථික මොඩලයකින් නැවත නැඟී සිටින ජාතියක් හැටියට ඉදිරියට යාමේ මාවතට ඔසවා තැබීමයි අප මේ ඉටුකරමින් සිටින්නේ. ඒක කරන්න පුළුවන්. (අත්පොළසන්)

එදා ‘එල්ටීටීඊ එක යුදමය වශයෙන් පරාජය කරන්න බැහැ’ කියා හැමෝම කියන විට අපි කීවා, ‘ඒක කරන්න පුළුවන්’ කියා. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ පිළිබදව එතරම් හිතලා ආවා නොවෙන්නත් පුළුවන්. නමුත් ජාතිකවාදී බලවේගවල කරමතින් පැමිණි නිසා එතුමාට යුද්ධය කරන්න වුණා. ඒකත් ‘බැහැ’ කියලා කියපු එකක්. මෙතනත් මේක ‘බැහැ’ කියලා කියන්න බැහැ. විදේශ විනිමය පනත බලගැන්වීම, හොර පාරෙන් ඩොලර් එන එක නතර කර, නීත්‍යනුකූල පාරෙන් පමණක් ඩොලර් එන එක සහතික කිරීම, අපනයන නිෂ්පාදන ආරක්ෂා කරන මහා මූලෝපායික සැලැස්මකට යාම, විදෙස් රැකියා වෙළෙඳපොළ ජය ගැනීමට අපේ තොරතුරු තාක්ෂණවේදීන් ඇතුළු වෙනත් වෘත්තිකයන්ට අවශ්‍ය වාතාවරණය සකසා දීම වැනි තීන්දුවලින් ඩොලර් හීන රටට ඩොලර් උපයාගැනීම එතරම් දුෂ්කර නැහැ. ඒ අතරේ මහජනයාට වෙනස් වීමට අවශ්‍ය චින්තනයත් ලබාදිය යුතුයි.

ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව කෙරෙහි අපේ අවධානය යොමු විය යුතුයි. පුනර්ජනනීය බලශක්ති හඳුන්වා දීමට විරුද්ධ වන්නේ මේ රටේ දේශපාලනඥයා නොවෙයි. විරුද්ධ වන්නේ විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්. ඔවුන් කැමැති නැහැ මේ රටේ විදුලි බලය ඒ මාර්ගයෙන් උත්පාදනය කෙරෙනවාට. ඩීසල්වලින් විදුලිය උත්පාදනය කෙරෙන කොට ඒ අයගේ තත්වය ‘සතුටුදායකයි’. ‘මේ රට වෙනස් කිරීමට බාධාවක් වී ඇත්තේ මුළුමනින්ම මේ දේශපාලනතන්ත්‍රය පමණයි’ කියා අප නොසිතිය යුතුයි. එක එක මර්මස්ථානවල එක එක මාෆියාවන් තිබෙනවා. ඔවුන් තමයි එම මර්මස්ථාන පැවතිය යුතු ආකාරය තීන්දු කරන්නේ. ඒවා සමග ගැටෙන්න වෙනවා. ඒවා සමඟ හුරතල් වෙමින් රටක් හදන්න බැහැ.

‘අභියෝගය ධනාත්මකව භාර ගනිමු!’

තරුණ පරම්පරාව ඉල්ලන්නේ පරිවර්තනයක්. ඔවුන් ඉල්ලන්නේ සුහුරු පාලනයක්. රස්තියාදු නොකරන පගා නොගන්නා රාජ්‍ය සේවයක්. පගා නොගන්නා දේශපාලනඥයන්. මේවා ලෝකයේ වෙනත් රටවල දිනාගත් ජයග්‍රහණ නොවෙයිද? ඒ රටවලට පුළුවන් නම් ඇයි අපට බැරි? අපට බැරි වෙලා තිබෙන්නේ එවැනි තීරණ නොගත්තු නිසා. ඒ නොගත්තු තීරණ ගත්තු දවසට තමයි මේ රට හැදෙන්නේ. දේශපාලනතන්ත්‍රයේ, රාජ්‍යතන්ත්‍රයේ, සමාජයේ කුණුවීමට බෙහෙත ලැබෙන්නේ එවිටයි. මෙවැනි අර්බුදයක් විසින් බල කරනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එවැනි තැනකට යාමට. මේ එන කුණාටුවට බිය නොවී, ඊට ශක්තිමත්ව මුහුණ දීලා, අසරණව මේ ‘මුහුදට’ ගලාගෙන යන අපේ රට ස්ථාවර, පාලිත තැනකට ගෙනල්ලා, ආරක්ෂිතව නැවත සක්‍රිය තත්වයකට ගෙන ඒමේ අභියෝගය අපි ධනාත්මකව භාර ගනිමු! ඒ අභියෝගය විසින් ඉල්ලා සිටින දෘඪතර නායකත්වය ලබාදෙමු! ඒ අභියෝගය ජාතියේ විජයග්‍රහණයේ මාවත බවට පත් කරමු!

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
Related news