Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

බාල ඖෂධ 16ක් භාවිතයෙන් ඉවතට

ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ ශල්‍ය උපකරණ 16ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. මෙම ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇත්තේ පසුගිය...
Homesocialඅරගලකරුවන්ට මතුරපු වතුර දුන්නද? - ඥානා අක්කාගෙන් විශේෂ හෙළිදරවුවක්

අරගලකරුවන්ට මතුරපු වතුර දුන්නද? – ඥානා අක්කාගෙන් විශේෂ හෙළිදරවුවක්

ශ්‍රී ලංකාවේ පෙරළිකාර චරිතයක්ව සිටි ඥාණා මෑණියෝ හෙවත් ඥාණා අක්කා, නැතිනම් ඥාණවතී ජයසූරිය නමැති තැනැත්තිය සමග සිදුකර තිබෙන සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත ඊයේ දිනයේදී පුවත් විශේෂාංගයක් වාර්තා කර තිබුණා.

මෙම ලිපිය, සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙන විශේෂාංග ලිපියේ අසංශිප්ත පරිවර්තනයක් නොවන අතර එම ලිපියේ සඳහන්ව තිබෙන ඇතැම් කරුණු පමණක් උපුටා දැක්වීමක් බව ප්‍රථමයෙන් සඳහන් කළ යුතුය.

සන්ඩේ ටයිම්ස් පුවත්පත සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඥාණා මෑණියන් පවසා තිබෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂවරුන් යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්වලට පොළඹවා ගනිමින්, රට මේ පත්ව තිබෙන තත්ත්වයට පිරිහෙලීම සඳහා තමන් දායක වූ බවට වන චෝදනාව තමන් තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි.

ඇය පවසා සිටින්නේ තමන් බුදුන් සරණ ගිය කාන්තාවක් බවයි. ඒ අතරම ඇය වැඩිදුරටත් කියා සිටින්නේ තමන් දේශපාලන සම්බන්ධතා හෝ හමුදා සම්බන්ධතා උපයෝගී කර ගනිමින් අයුතු ලාභ ප‍්‍රයෝජන ලබා ඇති බවට වන චෝදනාවන්ද මුසාවක් බවයි.

ඇය පවසා සිටින්නේ ඇය උපයාගෙන ඇති ධනය, ඇගේම දහඩිය මහන්සියෙන් උපයාගත් බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ ගෝඨාභය ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ වසර දොළහක, දහතුනක කාලයක සිට තමන් හමුවට එන බවයි. එසේම හිටපු ජනාධිපතිවරයකු මෙන්ම හිටපු අගමැතිවරයාද වන මහින්ද රාජපක්ෂ මහතාද දෙවතාවකදී ඈ හමුවීමට පැමිණ තිබෙන බව ඇය කියා සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෑම සතියකම තමන් හමු වීමට එන බවට පැතිර යන කතාව මුසාවක් බව ඥාණා මෑණියන් පවසනවා. කෙසේ නමුත් කාර්‍යබහුල ජීවිතයේ ඉඩ ලද සෑම අවස්ථාවකද ජනාධිපතිවරයා තමා හමුවීමට පැමිණ තිබෙන බවත් ඇය මෙහිදී පවසා සිටියා. ඒ අතරම තවත් පිළිතුර දිගු කරමින් ඇය කියා සිටින්නේ ගතවූ මාස කිහිපය තුළ ජනාධිපතිවරයා ඇය බැහැ දැකීමට නොපැමිණි බවයි.

ඒ අතරම බොහෝ ජනතාව විසින් කතාබහ කළ කරුණක් වූයේ ගෝඨාභය ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන් ඥාණා මෑණියන්ගේ පුදබිම අමදිමින් ආවතේව කරන්නේද යන්නත්, ඥාණා මෑණියන් විසින් හිමිදිරි පාන්දර ජනාධිපතිවරයා ස්නානය කරවන්නේද යන ප‍්‍රශ්නවලට ඇය විසින් මෙහිදි පිළිතුරු දී තිබුනා. එම ගැටළුවලට පිළිතුරු වශයෙන් ඇය කියා තිබුනේ ඇය කිසි දිනක ජනාධිපතිවරයා නහවා නොමැති බවත් එම කටයුතු කිරීමට තමාගේ පුදබිමේ ස්ථානයක්ද නොමැති බවත්ය. එමෙන්ම ඇතැම් ප‍්‍රභූවරු, ඔවුන්ට අවශ්‍ය කටයුතු කර ගැනීම සඳහා ගුවනින් ඈ රැගෙන යන්නේදැයි විමසූ විට ඇය විසින් එයද ප‍්‍රතික්ෂේප කර තිබුණා.

පසුගිය දිනෙක බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ ගාළුමුවදොර පිටියේ විරෝධතාකරුවන්ගේ රාජ්‍ය විරෝධී අදහස් මකා දැමීම සදහා මතුරන ලද ජලය ඔවුන්ට බීමට සලස්වා ඇද්දැයි ඇසූ විට, එයද ඇය ප‍්‍රතික්ෂේප කළා.

සේවයේ නියුතු සහ විශ‍්‍රාමික ඉහළ හමුදා නිළධාරීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරු තමන් බැහැ දැකීමට එන බව පවසන ඈ, ඔවුන්ගෙන් කිසිදු ලාභ ප‍්‍රයෝජනයක් ලබා ගෙන නැති බවත් ඔවුන් සමග වෙනත් සම්බන්ධයක් නැති බවත් මෙහිදී අවධාරණයෙන් කියා සිටියා. එසේම ඇය කියා සිටියේ ඔවුන් තමන් වෙත පැමිණීම වැළැක්වීමේ හැකියාවක් තමන්ට නැති බවයි.

අවසාන වශයෙන් ඇය කියා සිටියේ දේශපාලන බලාධිකාරයෙන් තමන් අයුතු වාසි ප‍්‍රයෝජන ලබා ඇද්දැයි සිදු කරන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවයි.