බැසිල් රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (09) පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දුන්නේය.
ඉල්ලා අස්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක්ද පැවැත්වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සුදුසු පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීම සඳහා අවස්ථාව සැලසීම සිය ඉල්ලා අස්වීමේ අරමුණ බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේය.
බැසිල්ගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පෙරමුණේ සාමාජිකත්වය දරණ පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පක්ෂය තුළ සාකච්ඡා කර තිබේ.
ඒ අනුව පුරප්පාඩු වන එම ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත් වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.
බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉවත්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා මෙරට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කරනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වුවහොත් ඔහුට වත්මන් රජයේ ප්‍රභල අමාත්‍ය ධූරයකට හිමිවනු ඇති.
බොහෝ විට ඔහුට ජාත්‍යන්තර අයෝජන හා වෙළඳාම සම්බන්ධයෙන් කටයුතු පැවරෙනු ඇති බවට එම ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අතර යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ සිය මන්ත්‍රී ධූරවලින් ඉවත්වීමේ සූදානමක් පවතින බවටද එම ආරංචි මාර්ග පවසයි.