31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsස්ථානාධිපතිවරු පත් කිරීමට නිසි ක්‍රමවේදයක් නැහැ

ස්ථානාධිපතිවරු පත් කිරීමට නිසි ක්‍රමවේදයක් නැහැ

පොලිස් ස්ථාන සඳහා ස්ථානාධිපතිවරුන් පත් කිරීමට අදාළව පොලිස් දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත, විධිමත් ක්‍රමවේදයක් නොමැති බව අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ පොලිස්පතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති වාර්තාවක් අනුවයි.

දිවයින පුරා පොලිස් ස්ථාන 182ක් සඳහා දේශපාලන නිර්දේශ මත ස්ථානාධිපතිවරුන් පත් කිරීම පිළිබඳ රාජ්‍ය සේවා කොමිසම කර ඇති විමසුමට ප්‍රතිචාර ලෙස පොලිස්පතිවරයා අදාළ වාර්තාව කොමිසම වෙත යොමු කර තිබේ.

ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා නිශ්චිත විධිමත් ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති වීම හමුවේ විවිධ හේතු සහ බලපෑම් මත ඇතැම් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සිදු වන බව පොලිස්පතිවරයා යොමු කර ඇති වාර්තාවෙන් පැහැදිලි වන බව රාජ්‍ය සේවා කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ අනුව නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයක් සකස් කර එවන ලෙස කොමිසම කළ දැනුම්දීමකට අනුව යෝජනාවලියක් පොලිස්පති විසින් කොමිසම වෙත යොමු කර තිබේ.

රාජ්‍ය සේවා කොමිසම සඳහන් කළේ පසුගිය සතියේ රැස්වූ සිය කොමිසම පොලිස්පතිවරයා විසින් යොමු කර ඇති අදාළ යෝජනාව සලකා බැලීමට ලක් කළ බවයි.

ඊට අදාළ සංශෝධන එක් කිරීමෙන් පසුව ස්ථානාධිපතිවරු පත් කිරීමේ නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

පසුගියදා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සිය එකඟතාවය පළ කිරීමට රාජ්‍ය සේවා කොමිසම තීරණය කළ බව එම කොමිසමේ ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ අතර දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට අලුතින් පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා කැඳවූ අයදුම්පත් භාර ගැනීම ජූනි 17 වැනිදායින් අවසන් වීමට නියමිතය.

දේශපාලන බලාධිකාරියේ වුවමනා මත පසුගිය කාලයේදී පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කර ඇති බවට එල්ල වූ චෝදනා සැලකිල්ලට ගෙන නව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ලබා දුන් උපදෙස් අනුව පොලිස්පතිවරයා විසින් මෙලෙස අයදුම්පත් කැඳවනු ලැබීය.

මෙම අයදුම්පත් යටතේ සියලුම පොලිස් ස්ථාන සඳහා ස්ථානාධිපතිවරුන් තෝරා ගැනීමට නියමිතය.

සුදුස්සන් තෝරා ගැනීමේදී අනුගමනය කෙරෙන ක්‍රමවේදය සහ ලකුණු දීමේ පටිපාටිය ප්‍රසිද්ධියට පත් කරන ලෙසද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන අතර මේ යටතේ දැනට පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට මෙන්ම අනෙකුත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට ද අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.ස්ථානාධිපතිවරු පත් කිරීමට නිසි ක්‍රමවේදයක් නැති බව අනාවරණය වෙයි