― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබා ගත් හමුදා සෙබළෙක් අත්අඩංගුවට

සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබා ගත් හමුදා සෙබළෙක් අත්අඩංගුවට

නිරූපිකාවක ලෙස පෙනී සිට ෆේස්බුක් ඔස්සේ පාසල් සිසුවියන් රවටා එම සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රමශීලීව ලබා ගත් බෝයගනේ යුද හමුදා කඳවුරේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙක් වන හමුදා සෙබළකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (04) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු එසේ ලබාගන්නා ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසමින් ඔවුන්ව බිය ගන්වා කප්පම් ගැනීම්වල නිරතව ඇති බව හෙළිව ඇත.

මෙම සෙබළා කලක් තිස්සේම මෙම ක්‍රියාවේ නිරතව සිට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම හමුදා සෙබලා විසින් පාසල් සිසුවියන්ගේ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඒ අයගේ සිතුම් පැතුම් හඳුනා ගැනීමෙන් අනතුරුව නිරූපිකාවක් ලෙස පෙනී සිටිමින් එම සිසුවියන්ව බිලිබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සැකකරු සිසුවිය රවටා ඇති ආකාරය දිනපතා පුවත්පතකට පවසා තිබුණේ මෙලෙසයි.

“මෙම හමුදා සෙබළා ඉතා සූක්ෂමවයි මේ කටයුත්තේ නිරත වෙලා තියෙන්නේ. මුලින්ම ඔහු කරන්නේ තමන් ඉලක්කරන සිසුවියගේ මිතුරියකගේ ෆේස් බුක් ගිණුම හැක්කරන එකයි. පස්සේ ඔහු එම මිතුරිය ලෙස පෙනී සිටිමින් ඉලක්කරන සිසුවියට පණිවිඩයක් යොමුකරනවා මම දන්න නිරූපිකාවක් ඉන්නවා. ඔයාට එයා කථාකරයි. ඔයාට පුළුවන් එයා එක්ක සම්බන්ධ වුනොත් නිරූපිකාවක් වෙන්න. බය වෙන්න එපා. එයා විශ්වාසවන්ත කෙනෙක්. වගේ දේවල් තමයි මුලින්ම පණිවුඩ හැටියට යොමුකරන්නේ. පස්සේ නිරූපිකාව ලෙස පෙනී සිටිමින් එම සිසුවියට මෙම සෙබලා ෆේස් බුක් හරහා අදහස් හුවමාරුකර ගන්නවා.”

අනතුරුව ඔහු එම සිසුවියගේ සාමාන්‍ය ඡායාරූපයක් ෆේස්බුක් හරහාම ඉල්ලා සිටින බවත් පසුව විවිධ ඉරියව්වලින් ඡායාරූප 50කට වැඩි ප්‍රමාණයක් ගන්නා බවත් අවසානයේදී සිසුවිය නොදැනීම නිරුවත් වෙමින් ඡායාරූප යොමු කරන බවත් එම නිලධාරියා කීය.

එම නිරුවත් ඡායාරූප ඔහු අතට පත්වීමෙන් පසු සිසුවියන්ට කථාකර එම ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රසිද්ධ නොකර සිටීමට මුදල් සහ සිසුවියන්ගේ පහස ඉල්ලා සිටින බවද විමර්ශනවලින් අනාවරණය වූ බව එම නිලධාරියා සඳහන් කළේය.

මෙම පුද්ගලයාට හසුවූ ගම්පහ ගනේමුල්ලේ පදිංචි සිසුවියක් රුපියල් 50,000ක මුදලක්ද ඔහුගේ බැංකු ගිණුමට බැරකර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම මුදල් ඇය විසින් දී ඇත්තේ ඇගේ දෙමාපියන්ව මේ ගැන දැනුවත් කිරීමෙන් අනතුරුවය. එම සිසුවිය ඇතුළු උසස් පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් සිටින සිසුවියන් තිදෙනෙක් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වා කුරුණෑගලදී ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ එක් සිසුවියකට තමාව මුණ ගැසීමට කුරුණෑගලට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබේ. ඒ අනුව ඔහුව කොටුකර ගැනීම පහසුවක් වී ඇත. ඔහු සූදානම්ව සිට ඇත්තේ එම සිසුවිය සමඟ එදින කුරුණෑගල හෝටලටයක රැය පහන් කිරීමට බවද අනාවරණය වී තිබේ.

මෙම සැකකාර හමුදා සෙබළා විසිහය හැවරිදි වියේ පසුවන්නෙක් වන අතර ඔහු හමුදා සේවයට ගොස් ඇත්තේ පාපන්දු ක්‍රීඩා කිරීම සඳහාය.

බෝයගනේ හමුදා කඳවුරේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස සේවයේ නිරතව සිටි ඔහුගේ ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ලබාගෙන පරීක්ෂා කිරීමේදී පාසල් සිසුවියන්ගේ බවට සැකකරන තරුණියන් 20කගේ විවිධ ඉරියව් ඇති ඡායාරූප රැසක්ම තිබී හමුවී ඇත.

ප්‍රශ්න කිරීම් හමුවේ මෙම සැකකාර සෙබළා පවසා ඇත්තේ අන්තර්ජාලයෙන් තොරතුරු ලබාගෙන ෆේස්බුක් ගිණුම් හැක් කිරීමට තමා ඉගෙන ගත් බවය.

ඔහු මේ ආකාරයට සිසුන් ඉලක්කර නිරුවත් ඡායාරූප රැගෙන එම සිසුවියන් ලැගුම්හල්වලටද ගෙන්වාගෙන විවිධ අතවරයන්ට ලක්කර ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙවන් අපරාධයන්ට ගොදුරු වී සිටින සිසුවියන් සහ තරුණියන් සිටී නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඒ බව දැනුම්දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද කරයි.