― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsජනතාවගේ ආදායමෙන් 75%ක්ම වියදම් වෙන්නේ ආහාරවලට

ජනතාවගේ ආදායමෙන් 75%ක්ම වියදම් වෙන්නේ ආහාරවලට

රටේ ජනතාවගෙන් නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන්නේ 1/5ක් වැනි ප්‍රමාණයකට බවත් රටේ ජනතාවගේ අදායමෙන් 75%ක්ම ආහාර සඳහා වියදම් වන බවත් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අනාවරණය වී තිබේ.

පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී මෙම කමිටුව රැස්විය.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සුරක්ෂිතතාව, පොහොර අවශ්‍යතාවය, අස්වැන්නේ ඉදිරි අඩුවීම, මන්දපෝෂණ තත්ත්වය සහ එයින් ඇතිවිය හැකි සමාජීය අතුරුඵල ආදිය පිළිබඳ විද්වත් අදහස් ලබා ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණි. ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ රටේ ඖෂධ භාවිතය පිළිබඳ විද්වත් අදහස් ලබා ගැනීම කමිටුව විසින් මීට පෙර සිදු කරන ලදී.

විශේෂයෙන් වසර දහයක පමණ කාලයක් තිස්සේ රටේ පවතින මන්දපෝෂණ තත්ත්වය වර්තමානයේදී පවතින ආර්ථික අර්බුදයත් සමග උත්සන්න වී ඇති නිසා මෙම තත්ත්වය පිටුදැකීම සඳහා ගත හැකි කෙටි කාලීන සහ මධ්‍යකාලීන පියවර සම්බන්ධයෙන් ‍මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී සභාපතිවරයා මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දුන්නේ ආදායම් සහ ගෘහස්ථ වියදම් පිළිබඳ සමීක්ෂණය වහාම සිදු කරන ලෙසයි. මෙම අදාළ සමීක්ෂණය 2019න් පසු සිදු කොට නොමැති බවද සභාපතිවරයා දැනුම් දුන්නේය. එම සමීක්ෂණය මගින් මෙම ආර්ථික අර්බුදයේ සමාජීය ප්‍රතිඵල පිළිබඳ නිවැරදි තොරුතුරු ලැබෙන බවත් එම තොරතුරු ඉදිරි වැඩපිළිවෙල සැකසීමේදී ඉත‍ා වැදගත් වන බවද රණවක මහතා සඳහන් කළේය.

රට තුළ බදු වැඩි කිරිම් ආදී ක්‍රියාමාර්ග මගින් ආදායම් වැඩි කළද එහි අතුරු සමාජීය ප්‍රතිඵල ලෙස කර්මාන්ත පවත්වා ගැනීමේ ගැටළුව, රැකියා අහිමිවීම් සහ පෝෂණය තත්ත්වයන් පහත වැටීම වැනි කරුණු දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටද මෙහිදී සාකච්ඡා විය.

එමෙන්ම පුද්ලයෙකුගේ ජීවිතයේ මුල් දින 8000 නිසි පෝෂණ තත්ත්වයෙන් පවත්වා ගැනීමේ වැදගත්කම සහ ඒ සඳහා පවතින ආහාර නිසි සුරක්ෂිතතාවෙන් යුතුව පරිහරණය කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී අදහස් පළ විය.