දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලෝවීන් සාදයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 154 දෙනෙක් මියගොස් සියයකට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එලෙස ජීවිතක්ෂයට පත්වූවන් අතර 27 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර උඩතලවින්න මඩිගේ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මුනව්වර් මොහමඩ් ජිනාත් නම් තරුණයෙකි. ඔහු වසර දෙකක පමණ කාලයක් කොරියාවේ රැකියාවක නිරතව සිට පසුව මෙරටට පැමිණ මීට දෙමසකට පමණ පෙර විවාහ වී ඇති බව තරුණයාගේ ඥාතීන් ප්‍රකාශ කරති.
2015 වසරේදී සෞදි අරාබියේ මක්කම වන්දනාවේ යෙදුණු බැතිමතුන් අතර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 717 දෙනෙකු මියයාමේ සිද්ධියට සහ පසුගිය 01 වැනිදා ඉන්දුනීසියාවේ පාපන්දු තරගාවලියක් අතරතුර ඇති වූ නොසන්සුන්තාවකින් පුද්ගලයන් 131 දෙනෙකු මියයාමේ සිද්ධිවලින් පසු ලොව වාර්තා වූ දැවැන්තම ඛේදවාචකය මෙය ලෙස සැලකේ.





