26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑප්පාවලදී පැහැරගත් දරුවා සොයා පොලිස් මෙහෙයුම්

එප්පාවලදී පැහැරගත් දරුවා සොයා පොලිස් මෙහෙයුම්

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු රවටා පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් 45 හැවිරිදි විදුලි කාර්මිකයකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අංක 16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි පී.කේ දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නම් නව හැවිරිදි පිරිමි දරුවෙකි. ඔහු කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

මෙම සිසුවා එම ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ මිතුරුව සිටි බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන යන්නට ඇති බවට සැකකරන බවත් දරුවාගේ දෙමාපියන් එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත.

පසුගිය (19) රාත්‍රි 8.30 න් පමණ පසුව දරුවා නිවසේ නොමැති බවට දැන ගෙන සොයා බැලූවද මෙතෙක් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණ බව දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය හඩා වැළපෙමින් පැවසූවාය.

දරුවා පැහැරගෙන ගිය බවට සැක කරන ඇස්වැද්දුමේ අසේල ප්‍රියන්ත නම් 45 හැවිරිදි විදුලි කාර්මිකයා සන්තකයේ දරුවා සිටින බවට තොරතුරුද මේ වන විට ලැබී ඇතැයි පොලීසිය පවසයි. අදාළ විදුලි කාර්මිකයා පැහැරගත් දරුවාද සමඟ නාවුල ප්‍රදේශයේ ඔහුගේ සහෝදරයකුගේ නිවසකට ගොස් එම නිවසේ රාත්‍රියේ රැදී සිට ඊයේ (20) අලුයම එම නිවසින් දරුවාද රැගෙන පිටත් ව ගොස් ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන ඇත.

දරුවා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව වන මල්කාන්ති මහත්මිය කියා සිටියේ,

මගේ පුතා ඉලෙක්ට්‍රික් වැඩ වලට ආසයි, ඒ නිසා මගේ පුතාව ප්‍රියන්ත කියන කෙනා රවට්ටගෙන ඒ වැඩ උගන්වන විදිහට දරුවට ගොඩක් ලං වෙලා හිටියේ, එයා නිතර නිතර ගෙදර ආවා ගියා, දරුවා පාසල් දාන්න, පන්ති දාන්න පවා එක්කගෙන ගියා, එයාගේ දරුවෝ දෙන්නයි බිරිඳයි බෝම්බයකට අහු වෙලා මැරුණා කියලා කිව්වා, එයාගේ දරුවෝ නැති නිසා මගේ දරුවාට ගොඩක් ආදරෙයි කියලා එයා ඇඟෙව්වා.ඒ නිසා සැකයක් තිබුණේ නෑ අපිට.

පහුගිය 19 වැනිදා රෑ 8.30 ට විතර මගේ පුතා ගෙදර නෑ කියලා දැන ගෙන හොයද්දී දැන ගත්තා මේ ප්‍රියන්ත කියන කෙනාගේ ත්‍රී විල් එක අපේ ගෙවල් ලඟ තිබ්බා රෑ කියලා, අපි හැම තැනම හෙව්වත් දරුවා හොයා ගන්න බැරි වුණා. අපි ඊට පස්සේ එප්පාවල පොලීසියට පැමිණිලි කළා.තවම මගේ දරුවා ගැන තොරතුරක් නෑ, මගේ දරුවා කොහොම හරි හොයලා දෙන්න.” යැයි ඇය හඩමින් ඉල්ලා සිටියාය.

දරුවා පැහැරගෙන ගිය පුද්ගලයාගේ ඡායා රූපයක්ද මේ වන විට අපට ලැබී ඇති අතර ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දුරකථන අංක 025-2249122 ඔස්සේ එප්පාවල පොලිස් ස්ථානය හෝ ලඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.