― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමෙරට දැනට බහුලව සිදු කෙරෙන පාන් පිටි භාවිතය වෙනුවට සහල් පිටි භාවිතය...

මෙරට දැනට බහුලව සිදු කෙරෙන පාන් පිටි භාවිතය වෙනුවට සහල් පිටි භාවිතය සුලභ කිරීමට පියවර

මෙරට දැනට බහුලව සිදු කෙරෙන පාන් පිටි භාවිතය වෙනුවට සහල් පිටි භාවිතය සුලභ කිරීමට පියවර ගන්නා ලෙස මව්බිම ලංකා පදනම ඊයේ (04) කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළේය.

මව්බිම ලංකා පදනමේ නියෝජිතයින් වන ආරියශීල වික්‍රමනායක, වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර හා සුමිත් වන්නි ආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් අමාත්‍යවරයා සමග කරුණු කිහිපයක් සම්බන්ධව මෙහි දී සාකච්ඡා කළේය.

2021 මහ කන්නයේ දී මෙරට සහල් නිෂ්පාදනය පහත වැටිම නිසා රටේ ජනතාව තුළ සහල් පිටි පරිභෝජනය අවම වී ඇති බවත්, නමුත් මෙවර මහ කන්නයේ දී නිත්‍ය වශයෙන්ම විශාල වී අස්වැන්නක් ලබා ගත හැකි බැවින් සහල් පිටි පරිභෝජනය සඳහා මහජනතාව නැවතත් යොමු කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

විශේෂයෙන් පාසල්වල ඇති ආපනශාලාවල පාන් පිටි වෙනුවට සහල් පිටි යොදා සකස් කළ ආහාර සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමටත්, ඊට සමගාමීව එම වැඩපිළිවෙළ රජයේ කාර්යාලවල ඇති ආපන ශාලා දක්වා ද පුළුල් කිරීමටත් මෙහිදී සාකච්ඡා කළේය.

මේ සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම වැනි අමාත්‍යාංශවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කරනු ලැබීය. විශේෂයෙන් පාසල් ආපනශාලාවල පැණිබීම හා පාන් පිටි නිෂ්පාදන තහනම් කර ඒ වෙනුවට ස්වාභාවික පලතුරු බීම හා සහල් පිටිවලින් සැකසූ ආහාර අලෙවි කිරීම සුලභ කිරීම සම්බන්ධව මෙහිදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කළේය.

මේ සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම තීරණය ගැනීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙරට ප්‍රධාන ආහාර පාලකවරයා වශයෙන් කටයුතු කරන නිසා ඔහුගේ අදහස් ද විමසිය යුතු බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි කටයුතු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශවල හා මව්බිම ලංකා පදනමේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද තීරණය කළේය.