සේපාල් අමරසිංහගේ ආදායම් මාර්ග පිළිබඳව අද අධිකරණයේදී විශේෂ කරුණු රැසක් හෙළිදරව් විය.ඒ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහ සම්බන්ධ නීති කෘත්‍යය අද යළි කැඳවූ අවස්ථාවේදීය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා ප්‍රකාශ කළේ සැකකරු ද්වේශ සහගත ප්‍රකාශ අන්තර්ජාලයට මුදාහරිමින් මාසිකව ලක්ෂ ගණන් මුදල් උපයා ඇති බවයි.
නිදහස් මාධ්‍යවේදියෙක් යැයි කියාගන්නා සැකකාර සේපාල් අමරසිංහ යූ-ටියුබ් නාලිකා 2 ක් පවත්වාගෙන යන බවත් ඒ වටා ග්‍රාහකයින් හෙවත් යූ ටියුබ් Subcribers 172,000 ක ප්‍රමාණයක් එක්ව සිටින බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
පසුගිය කාලසීමාවේ පමණක් වීඩීයෝ පට 779 ක් යූ ටියුබ් වෙත මුදාහැර ඇති සේපාල් අමරසිංහ ඒ තුළින් වසරකට ඩොලර් 45,500 ක පමණ මුදලක් උපයාගෙන ඇති බවත් මසකට රුපියල් 14 ලක්ෂ 50,000 ක මුදලක්ද ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේය.
ඩොලර් ඉපයීම අරමුණු කරගත් සැකකරු නිදහස් මාධ්‍යවේදියෙක් නොව ජාවාරම්කරුවෙක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.
ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති භාෂණයේ නිදහස, නීතිවිරෝධී දෙයකට අත ගැසූ සැණින් අවසන් වන බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සැකකරුගේ ප්‍රකාශය තුළින් බෞද්ධ සමාජය තුළ දැඩි කැළඹීමක් හටගෙන ඇති බවත් පෙන්වා දුනි.
ඒ අනුව මේ සම්බන්ධ විමර්ශන තවමත් අවසන් නොමැති නිසා සැකකරුට මේ මොහොතේ ඇප ලබාදීම කිසිලෙසකින් සිදු නොකළ යුතු බව දිලීප පිරීස් මහතා ප්‍රකාශ කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වන දා ප්‍රකාශ කරන බවත් සැකකරු එතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටත් නියෝග කළේය.