ඊයේ (12) පැවැති වයස අවුරුදු 13න් පහළ පාසැල් නිවාසාන්තර මැරතන් තරඟයකට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූ 02 ශ්‍රේණියේ සිසුවකු එහි තරඟකරුවන් 13 දෙනෙකු අභිබවා යමින් විනාඩි 27ක් තුළ කිලෝමීටර් 05ක දුරක් ගෙවා තරඟය ජයග්‍රහණය කර තිබෙනවා.
ඒ කැකිරාව අධ්‍යාපන කලාපයේ බලලුවැව මුස්ලිම් මහ විද්‍යාලයේ 2 වැනි ශ්‍රේණීයේ ඉගෙනුම ලබන එෆ්.එම්.රුෂ්ඩි නමැති සිසුවෙක්.
තරඟයට එක්වූ අවුරුදු 13න් පහළ තරගකරුවන් 30 දෙනෙකු අතරින් 13 දෙනෙකුම අභිබවා යමින් තරගයේ 17වන ස්ථානය හිමිකර ගනිමින් දිගු දුර ධාවනයේදී මෙලෙස දස්කම් පෑ රුෂ්ඩි බලලුවැව ගම්මානයේ පදිංචි අයෙක්.
බලලුවැව- දික්ඇදියාව-කලාවැව ආදී ප්‍රදේශ හරහා එම මැරතන් ධාවන තරඟය පවත්වා තිබූ අතර ගල්කිරියාගම පොලිස් නිලදාරීන්ගේ ආරක්ෂාවද එම තරඟයට ලැබී තිබෙනවා. මෙම සිසුවාගේ පියා ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයකු වන අතර ඔහු ඒ වෙනුවෙන් තරඟයේ වීරයා ඇතුළු සම්මාන, කුසලාන, පදක්කම් රැසක්ම දිනාගෙන තිබෙනවා. සිසුවාගේ පියා වන මොහොමදු ෆසාහිර් මහතා තම පුතුගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පවසනවා.
“මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා දුවයි පුතයි. දුවට අවුරුදු තුනයි පුතාට අවුරුදු 07යි. එයා පලාගල බලලුවැව මුස්ලිම් මහ විද්‍යාලයේ 02වැනි ශ්‍රේණියේ තමා ඉගෙන ගන්නේ. අපේ ගමේ පාසැලේ නිවාසාන්තර ක්‍රිඩා උත්සවයේ වයස අවුරුදු 13න් පහළ මැරතන් තරගය අද දිනයේ පවත්වන්නට කටයුතු කර තිබුණා.
පාසැලේ මේ මැරතන් තරගයට ඉදිරිපත් වෙන්න ඕන කියලා 02 ශේණියේ ඉගෙන ගන්න මගේ පුතා ගුරුවරුන්ට පෙරැත්ත කරලා තිබුණා. ඒත් ඒ වෙලාවෙ විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය පුතාට අවස්ථාවක් දෙන්න ටිකක් බය වෙලා තියෙනවා. මෙයාගේ පොඩි වයසත් එක්ක ඒ දුර ප්‍රමාණය පුතාට ඔරොත්තු නොදෙයි කියලා. ඒත් පුතා තරගයට ඉන්න ඕනෙමයි කියලා ආයේ ආයෙත් ගුරුවරැන්ට කරදර කරලා තියෙනවා. පස්සේ මම විදුහල්පති තුමාට කියලා මම වගකීම ගන්නම් දරුවගේ කැමැත්තට ඉඩ දෙන්න කියලා කිව්වා එහෙම කියලා තමයි පුතාව මැරතන් තරගයට දැම්මේ. එතැනදී පුතාට අංකයක් ලැබුනේ නැහැ. මොකද පුතා අදාළ වයස් කාණ්ඩයේ නොවන නිසා. ඒත් පුතා එතැනදීත් අංකයක් ඔනෙමයි කියලා මට බලකළා. පුතාගේ හිත හදන්න ඕනේ නිසා මම කොලයක අංක 100 ලියලා පුතාගේ පැලැන්දුවා. ඒ වෙලාවේ පුතා මට කිව්වා තාත්තේ මම දිනවා කියලා මමත් ඒ වෙලාවේ පුතාට සුබ පැතුවා. තරගය සදහා වයස අවුරුදු 13න් ඉහළ තරගකරුවන් 30ක් ඉදිරිපත්වෙලා හිටියා. පුතත් එක්ක ඔක්කොම 31යි. දුර කිලෝමීටර් 05ක්.
මගේ පුතා විනාඩි 27ක් තුළ ඒ කිලෝමීටර් 05 දුවලා තරගය නිමා කලා. විදුහල්පතිතුමාටත් ගුරුවරුන්ටත් වගේම එතැන හිටපු හැමෝටම පුදුමයි. ඒ මොකද පුතා ඒ තරගය නිමා කරලා තිබුනේ වයස අවුරුදු 13න් පහළ තරගකරැවන්30 දෙනා අතරින් තරගකරුවන් 13 දෙනෙක්ම පසුකරලා තරගයේ 17වන ජයග්‍රහකයා විදියට. එහි සිටි සියලු දෙනාම පුතාට ඒ වෙලාවේ සුබ පැතුවා. ඇත්තටම මට සතුටුයි 02 ශ්‍රේනියේ ඉගෙන ගන්න වයස අවුරුදු 07ක මගේ පුංචි පුතා ඒ වගේ තරගයකට ඉදිරිපත්වීම වගේම ඉන් ජයග්‍රහණයක් ලබපු එක.
ඉතින් විද්‍යාලයේ විදුහල්පති තුමා ආචාරය මණ්ඩලය එහෙමත් හරිම සතුටු වුණා පුතාගේ හැංගිලා තිබුණ දක්ෂතාවයක් අද එළියට ආවා කියලා. පුතා සාමාන්‍යෙයන් ගෙදර ඉන්න වෙලාවට සෙල්ලම් කරනවා. දුවනවා ඒවා කරනවා. පොත්පත්වල වැඩටිකත් උනන්දුවෙන් කරනවා. ඉගෙනුමටත් දක්ෂයි. ඒ වගේම එයා ක්‍රිකට්වලටත් දක්ෂයි. මොකද මමත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. එයාගේ මනසේ තියෙන්නේ දිනන්න ඕන කියන හැගීමමයි මොකද මම කොහොහරි ක්‍රිකට් තරගයකට ගිහින් එනකොටත් අහන්නේ තාත්තේ අද කප් එක කොහෙද කියලා. පුතා කියන්නෙත් මම වගේ කුසලාන, සම්මාන, පදක්කම් ගොඩක් එකතු කරනවා කියල තමයි. පුතා ක්‍රිකට්වලට ආස නිසා මම එයාව කැකිරාවේ තියෙන ක්‍රිකට් පුහුණුවකටත් යවනවා.
දෙකේ පංතියේ හිටියට පුතා ලෙදර් බෝලෙන් තමා ක්‍රිකට් සෙල්ලම් කරන්නෙත්. පුතාට හොද අධ්‍යාපනයක් වගේම ක්‍රීඩාව අතිනුත් ඉහලට යවන්න තමයි මගේ බලාපොරොත්තුව. මට ලොකු විශ්වාසයක් තියෙනවා මගේ පුංචි පුතාත් ඉදිරි දවසකට සුසන්තිකා ජයසිංහ දමයන්ති දර්ශා වගේ ලෝකේ ඉහළ තැනකට ගෙනියාවි කියලා. තාත්තා කෙනෙක් හැටියට මම ඒ දවස එනතුරු ආඩම්බරයෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම පුතාගේ මේ සැගවිලා තිබුන හැකියාව හෙළි කරගන්න පුතාගේ බලවත් ඉල්ලීම හා මගේ වගවීම මත පුතාට එම තරගයට ඉදිරිපත් වෙන්න අවස්ථාව සලසා දුන් බලලුවැව මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පතිතුමාටත් ආචාර්ය මණ්ඩලයටත් මම මේ වෙලාවේ ස්තූති කරන්න ඕනේ.“