― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගොයම් කහපැහැ වීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරයි

ගොයම් කහපැහැ වීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව පසුගිය සති දෙකක් තුළ එම දෙපාර්තමේන්තුව කරන ලද නිරීක්ෂණයන් අනුව ඊට අදාල වාර්තාවක් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඉදිරිපත් කළේය.

ගොයම් කහ පැහැවීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවීමෙන් අනතුරුව ඒ සම්බන්ධව විධිමත් නිරීක්ෂණයන් සිදු කර කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත වාර්තාවක් ලබා දෙන ලෙසත්, මේ සම්බන්ධව ගත හැකි පියවර සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ඔවුන් මෙම ගොයම් කහපැහැ වීම වාර්තා වූ දිස්ත්‍රික්ක 14 ක තම නිලධාරින් යොදවා විමර්ශන කටයුතු සිදු කර තිබේ. මෙම වාර්තාව පෙන්වා දෙන පරිදි ගොයම් කහපැහැවීමට හේතු වී තිබෙන ප්‍රධාන කරුණු කිහිපයකි.

ඒවා වන්නේ පොස්පරස් (P) ඌනතාවය, පොටෑසියම් (K) ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම ( P and K) එකවර ඌනවීම, නෙමටෝඩා විසින් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැළ මැක්කාගේ Rice Thrift හානිය, දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය ( Salinity) , යකඩ විෂවීම (Iron Toxicity) යන තත්ත්වයන් වේ.

කෙසේ වුවද ගොයම් කහ පැහැවීම වළක්වා ගැනීමට ගොවීන්ට අවශ්‍ය දැනුම්වත් කිරීම් කටයුතු සිදු කෙරෙන අතරම අවශ්‍ය වුවහොත් කෘමිහානි මර්දනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මුදල් වියදම් කර ඒ සඳහා අවශ්‍ය කෘමිනාශක මිල දී ගෙන අවශ්‍ය කටයුතු යොදන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.

ඊට අමතරව නිරීක්ෂණයට ලක් කළ කුඹුරුවලින් බහුතරයක් පෝෂණ ඌනතා නිසා කහ පැහැතිවී ඇති බව හෙළිදරව් වී තිබේ. ඊට හේතුව නම් ගොවි ජනතාව විසින් MOP හෙවත් බන්ඩි පොහොර මෙතෙක් කුඹුරුවලට යෙදීමට පියවර නොගැනීමයි. ඊයේ (24) දිනය වනවිට බන්ඩි පොහොර අලෙවි වී තිබෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 10ක් පමණි.

දැනට බන්ඩි පොහොරවල මිල ඉහළ මට්ටමක පවතින නිසා රජය විසින් අලෙවි කරන බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල ගොවි ජනතාවට පහසුවක් වන පරිදි සැළකිය යුතු මුදලකින් අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මේ වනවිටත් ඉදිරිපත් කර තිබේ. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ සාකච්ඡාවට ඉදිරිපත් වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද මෙවර මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 780,000කි. මෙම ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝග තත්ත්වයන් වාර්තා වන්නේ සියයට 10ක පමණ ප්‍රමාණයකි. එයින් ඇතැම් ප්‍රදේශවල නෙමටෝඩා රෝග තත්ත්වය දක්නට ලැබෙන්නේ සියයට 02ක් පමණ ප්‍රමාණයකි. එමෙන්ම ඇතැම් දිස්ත්‍රික්කවල කුඹුරුවල තත්ත්වය ඉතාමත් හොඳ මට්ටමක ද පවතින බව තහවුරු වු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වුවද මෙම රෝග තත්ත්වය මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරින් කැප වී කටයුතු කරන බව මෙම අවස්ථාවට සහභාගි වූ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සඳහන් කළාය.