― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවසන්ත නිදහස් කළ මහේස්ත්‍රාත්වරයාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙන්න

වසන්ත නිදහස් කළ මහේස්ත්‍රාත්වරයාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙන්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (31) නියෝග කළා.

සැකකාර වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.

එම ඉල්ලීම පිළිබඳ සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබා දුන්නා. නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පින්ඩනය තුළින් ඔහු ස්ථාන ගණනාවක විරෝධතාවල නිරතවෙමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකර ඇති බවට තොරතුරු සඳහන් වන බවයි.

එමෙන්ම සැකකරු විශාල මුදල් පරිහරණයක නිරත වී තිබෙන බවත් එම සාක්ෂි සම්පිණ්ඩන වල සටහන් වන බවද මහේස්ත්‍රාත්වරයා පැවසුවා.

වැඩිදුරටත් නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ,

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතික ලෙස භාවිතා කළ අවස්ථා අතීතය පිරික්සීමේ දී පෙනී යනවා. ඇතැම් අවස්ථාවල පුද්ගලයින් දීර්ඝ කාලයක් රිමාන්ඩ් ගත කිරීමේ චේතනාවෙන් පොලීසිය මෙම පනත භාවිතා කළ අවස්ථා නිරීක්ෂණය කළ හැකියි. මෙම සැකකරුට එරෙහිව මෝටිවේෂන් අප්පච්චි සහ ගැමුණු විජේරත්න යන පුද්ගලයින් දෙදෙනාගේ සාක්ෂි ප්‍රධාන වශයෙන් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මෝටිවේෂන් අප්පච්චි නැමැති සාක්ෂිකරු ලබාදී ඇති ප්‍රකාශය තුළින් අරගලය මුල දී සාමකාමී ආකාරයෙන් පැවතුණත්, සැකකරු ඇතුළු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊට එක් වීමත් සමගම එය ප්‍රචණ්ඩ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් වසන්ත මුදලිගේ නමැති සැකකරු ප්‍රචන්ඩ ක්‍රියා සිදුකළ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙය වූ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම සඳහා උපදෙස් දුන් බවක් මෝටිවේෂන් අප්පච්චි නැමැති සාක්ෂිකරුගේ සාක්ෂිවලින් අනාවරණය වන්නේ නැහැ.ඒ වගේම ගැමුණු විජේරත්න නැමැති සාක්ෂිකරුගේ සාක්ෂිවලින් සැකකරු විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමඟ මුදල් හුවමාරු කරගත් බව සඳහන් කර තිබෙනවා.එහෙත් පොලිසිය මෙම සැකකරු මාස ගණනාවක් රඳවාගෙන විමර්ශනය කළ ද එම විමර්ශන වලින් සැකකරු විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වමින් මූදල් ලබාගත් බවත් අනාවරණය වී නැහැ. ඒ අනුව මෙම සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ පදනමක් නොමැති හුදු ප්‍රකාශ පමණක් බව පෙනී යනවා.”

ඒ අනුව අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවලින් සැකකාර වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් අනාවරණය නොවන බවත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කළා.

වැඩිදුරටත් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා,

සැකකාර වසන්ත මුදලිගේ අධ්‍යාපන අමාත්‍යංශය අසළ පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරියෙකු ඇද ගෙන ගොස් පහර දුන් බවට සාක්ෂි සම්පිණ්ඩනය තුළ සාක්ෂියක් ඉදිරිපත් වී තිබෙනවා. සිද්ධියට සම්බන්ධ එම පොලිස් සැරයන්වරයා ත්‍රස්ත මර්දන කාර්යාංශයට ලබාදුන් ප්‍රකාශයේ ඒ බව සඳහන් කළා. එහෙත් එම පොලිස් සැරයන්වරයාම තලංගම පොලිසියට ලබා දුන් සිය මුල් ප්‍රකාශයේ සැකකරු විසින් කළැයි කියන එවැනි පහර දීමක් ගැන සඳහන් කර නැහැ. එම පහරදීම සිදු වුණ අවස්ථාවේදී එම ස්ථානයේ විශාල පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිට ඇති බව සාක්ෂිවල සඳහන් වෙනවා. එවැනි පහරදීමක් සිදු වුණා නම් අනෙක් නිලධාරීන් ද එය දැක තිබිය යුතුයි. එහෙත් වෙනත් කිසිඳු පොලිස් නිලධාරියෙකු එවැනි පහරදීමක් සිදු වූ බව සඳහන් කර නැහැ.

යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා එම සාක්ෂිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක්කරමින් සැකකරු දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අරමුණින් පසුව නිර්මාණය කරන ලද සාක්ෂියක් වශයෙන් පෙනී යන්නේ යැයිද කියා සිටියා.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ සැකකාර වසන්ත මුදලිගේ රාජ්‍ය දේපල වලට පහර දී අලාභහානි සිදු කිරීම, මංමාවත්වලට හානි කිරීම හෝ අනර්ථයක් සිදුකළ බවට සාක්ෂි කිසිවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ සාක්ෂි සම්පින්ඩනය තුළින් අනාවරණය නොවන බවයි.

එමෙන්ම සැකකරු ජාතිවාදය හෝ ආගම්වාදය මතුවන ආකාරය ප්‍රකාශ සිදුකළ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියා. වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා,

සැකකරු කොටුව පොලිස් මූලස්ථානය අසල දී සහකාර පොලිස් අධිකාරී රොද්‍රිගු නැමැති නිලධාරියාට බැනවදිමින් මරණීය තර්ජන එල්ල කර බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩන සඳහන් කර තිබෙනවා. එහෙත් එම සහකාර පොලිස් අධිකාරීවරයා කොටුව පොලිසියට ලබාදුන් සිය මුල් ප්‍රකාශයේ එවැනි තර්ජනය කිරීමක් ගැන සඳහන් කර නැහැ. එවැනි තර්ජනයක් කර තිබුණේ නම් එය ඔහුගේ මුල් පොලිස් ප්‍රකාශයේ සඳහන් කර තිබිය යුතුයි.

එසේ නොකිරීම තුළින් පෙනී යන්නේ එම සාක්ෂිය ද මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක් කරමින් රඳවා ගැනීම සඳහා පසුව නිර්මාණය කරන ලද්දක් යැයි මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කර සිටියා.

මෙම සියලු කරුණු පිරික්සීමේ දී සැකකරු එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 02 සහ 03 යන වගන්ති යටතේ වරදක් සිදුකිරීමට අනුශාසනා කිරීම, කුමන්ත්‍රණය කිරීම හෝ ආධාර අනුබලදීම සිදු කළ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය නොවන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුවා.

ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තමන්ට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා වසන්ත මුදලිගේ නිදහස් කරන බවත් අවසානයේදී සිය නියෝගය තුළින් සදහන් කර සිටියා.