― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිදහස් සැමරුම වෙනුවෙන් ජෝ බයිඩන් ජනපතිට සුබපතයි

නිදහස් සැමරුම වෙනුවෙන් ජෝ බයිඩන් ජනපතිට සුබපතයි

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් හා පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා පවසනවා.

75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් එක් කරමිනුයි ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

එම සුබපැතුම් පණිවුඩය එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වු අවස්ථාවේ දී ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා.

දෙරටේම ජනතාවගේ සාමකාමී, සමෘද්ධිමත් සහ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිත්‍රත්වය සහ දැක්ම ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවයි ජෝ බයිඩ්න් එම පණිවිඩයේ සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් සැමරුම හා සමගාමීව එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සපිරෙන බවත්, මෙම දිගුකාලීන සබඳතාව කලාපීය සහ ගෝලීය වශයෙන් සාමය සහ සමෘද්ධිය ඉදිරියට ගෙන යාමට ඉවහල් වන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම, මිනිස් ජාවාරම මැඩලීම සහ ආරක්ෂිත නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් පවත්වාගෙන යාම ඇතුළු කටයුතුවලදී ඉතිහාසය පුරා දෙරටම ප්‍රබල ගෝලීය අභියෝගවලට මුහුණ දී ඇති බව ජෝ බයිඩ්න් මහතා සිහිපත් කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සබඳතා වඩා ශක්තිමත් වන්නේ සාමූහිකවය, නිදහස සහ සමානාත්මතාවෙන් බවයි බයිඩ්න් මහතා සිය සුබපැතුම් පණිවිඩය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.