― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර

වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව තිරසර සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම උදෙසා සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා පසුවිපරම් උපායමාර්ගික ක්‍රියාවලින් දියත් කිරීමේ අරමුණින් ‍පිහිටුවීම යෝජිත ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවට අදාළ සංකල්ප පත්‍රිකාව පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (07) පැවැත්විණි.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

උක්ත ජාතික සභා අනු කමිටුවේ යෝජනා ස්ථිරත්වයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන්යුත් ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීමේ ක්‍රියාකාරී කමිටුව පිහිටුවා තිබේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා විසින් උක්ත කොමිෂන් සභාවට අදාළ සංකල්ප පත්‍රිකාව අනු කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී.

එම සංකල්ප පත්‍රිකාවට අනුව රටේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම පිණිස ස්ථාපිත ඉහළම මට්ටමේ නිල යාන්ත්‍රණය ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් පිහිටුවීමට යෝජිතය. කොමිෂන් සභාවේ කාර්යයන් ලෙස නිසි විශ්ලේෂණ ආශ්‍රිතව ප්‍රතිපත්තිසම්පාදනය හා ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ලබා දීම, කෙටි කාලීන මධ්‍යම කාලීන හා දීර්ඝ කාලීන සංවර්ධන සැලසුම්කරණය හරහා 2023 – 2048 ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම, රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ඇති හැකියාවන් හා විභවයන් හඳුනාගනිමින් සංවර්ධන සැලසුම්කරණය හා කාර්යක්ෂම අයුරින් සම්පත් බෙදී යාමට ඉඩ සැලසීම, කාලීන ජාතික ප්‍රමුඛතා පදනම්කොටගත් සංවර්ධන ක්ෂේත්‍ර හඳුනාගනිමින් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම, සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට සමගාමීව නිරන්තර නියාමන හා ඇගයීම් ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම, ජාතික හා පළාත් මට්ටම්වලදී ක්‍රියාත්මක කරනු ලබන ආයතන පද්ධති අතර අන්තර් සම්බන්ධීකරණ ක්‍රියාවලීන් ශක්තිමත්ව ක්‍රියාත්මක කරවීම යන කරුණු දක්වා ඇති අතර ඒ පිළිබඳ දිර්ඝ වශයෙන් කමිටුවේදී සාකච්ඡා කෙරිණි.

ඒ අනුව, කොමිෂන් සභාවේ කාර්යයන් ඉටු කිරීම පිණිස කොමිෂන් සභා කාර්යාංශයක් පිහිටුවීමට යෝජිත අතර, එහි අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙහෙයුම් කමිටුවක්ද ස්ථාපනය කිරීමට නියමිතය. එයට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04, 27 සහ 148 වන ව්‍යවස්ථා යටතේ පාර්ලිමේන්තුවට එහි බලතල ක්‍රියාත්මක කිරීමට හැකි වන අයුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම් සහ පහසුකම් සැලසීම සඳහා ව්‍යවස්ථාපිතව සංස්ථාපනය වන යාන්ත්‍රණයක් ලෙස ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව කටයුතු කිරීමට නියමිතය.

එමෙන්ම, කොමිෂන් සභාවේ දිගු කාලීන ප්‍රතිපත්ති සැලසුම් ලෙස 2023 – 2048 දක්වා ජාතික ප්‍රතිපත්තිය සහ ජාතික යටිතල පහසුකම් සැපයීම දක්වා ඇති අතර මධ්‍යකාලීන ප්‍රතිපත්ති සැලසුම් ලෙස පසු අවුරුදු මධ්‍යකාලීන සැලසුම්, රාජ්‍ය ආයෝජන සැලසුම් හා ආංශික සංවර්ධන සැලසුම් මෙන්ම කෙටි කාලීන ප්‍රතිපත්ති සැලසුම් යට‍තේ වාර්ෂික අයවැය සහ වාර්ෂික පළාත් අයවැය සැලසුම් කිරීම දක්වා තිබේ.

මෙහිදී අදහස් දැක්වූ කමිටු සභාපති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉතා ඉක්මනින් මෙම සංකල්ප පත්‍රිකාව ජාතික සභාවට ඉදිරිපත් කර අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.