― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපරිත්‍යාග ලෙස ලැබුණු පිළිකා ඖෂධ අලෙවි කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්

පරිත්‍යාග ලෙස ලැබුණු පිළිකා ඖෂධ අලෙවි කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ලෙස ලැබුණු පිළිකා ප්‍රතිකාර ඖෂධ තොගයක් අලෙවි කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාට අද (16) දැනුම් දී තිබෙනවා.

එම වාර්තාවෙන් හෙළිවන කරුණු මත සිද්ධියට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව දැඩි නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශයේ සහ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

ඊට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන වාර්තාවක් දිනක් ඇතුළත ලබාදෙන ලෙසටයි අමාත්‍යාංශ ලේකම්වරයා අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාට දැනුම් දී ඇත්තේ.

එවැනි සිදුවීම් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර ඊට සම්බන්ධ පුද්ගලයින්ගේ තරාතිරම නොබලා නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම් කර පිළිකා රෝගීන්ට අලෙවි කළ සැකකරුවෙකු ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලීන් විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ එම රෝහලෙන් සොරකම් කර පිළිකා රෝගීන්ට රුපියල් විසි දහසක මුදලකට අලෙවි කිරීම සම්බන්ධයෙනුයි අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණේ.

පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට මෙම ඖෂධය හිඟයක් ඇති බව පවසමින් රුපියල් 22000ක මුදලකට විකිණීමට එකඟවී පසුව එය රුපියල් 21000 මුදලකට විකිණීමට උත්සාහ කළ අවස්ථාවේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව නිලධාරීන් විසින් සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී රුපියල් 425970ක මුදලක් සහ මෙම වර්ගයේ තවත් ඖෂධ තොගයක් ද සොයාගත් බව අධිකරණයට දැනුම් දුන්නා.

නිවසින් සොයාගත් එම ඖෂධ තොගය රාජ්‍ය ලාංඡනය සහිත පෙට්ටිවල අසුරා තිබූ බවත් එම ලාංජනය මෙම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ශීලීන් විසින් පරිත්‍යාග කරනු ලබන ඖෂධ සඳහා යොදනු ලබන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළා.