ප්‍රතිකාර සඳහා පෞද්ගලික අංශය වෙත යොමුව ඇති ජනතාවගෙන් 30% ක පමණ පිරිසක් ඉදිරියේ දී එම ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් කරා යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතිවිය හැකි බැවින් ඒ සඳහා වන ඉලක්කගත වැඩපිළිවෙළක් කෙරෙහි මේ වන විටත් අවධානය යොමු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මේ වන විටත් පෞද්ගලික ප්‍රතිකාර සඳහා යොමුව ඇති ඉහළ මධ්‍යම පාන්තිකයින් බොහෝ පිරිසක් පවතින තත්වයන් හමුවේ ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් කරා යොමු වන බවත් මේ තුළ ඖෂධ,වෛද්‍ය උපකරණ ඇතුළු රජ්යේ සෞඛ්‍ය සේවා සඳහා ඉහළ ඉල්ලුමක් ඇති ව තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි වන උපායමාර්ගික සැලැස්මක් වෙනුවෙන් වන විශේෂ හමුවකදී අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අමාත්‍ය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එය ඊයේ (13) පැවැත්විණි.
පෞද්ගලික අංශයේ ප්‍රතිකාර සඳහා යොමුව සිටින පිරිස් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීම ඉලක්ක කර ගනිමින් රජ්යේ රෝහල් පද්ධතිය තුළ වඩාත් ඉහල පහසුකම් වලින් සමන්විත ගෙවන වාට්ටු සාධාරණ මිලට ආරම්භ කිරීමට ඉලක්ක කරන බවත් විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් ද එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. දැනටමත් ආයෝජකයින් සිව් දෙනෙකු ඒ සඳහා එකඟ වී ඇති බව ද ඒ වෙනුවෙන් ඇඳන් 100 ක් ඒ සඳහා එක් කිරීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.