නොවැම්බර් 18 ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බවට ජනාධිපතිවරයාට රාජකීය ලණුවක් දී ඇත්තේ ව්‍යවස්ථාව හරි හැටි නොකියවූ ගොඩ පෙරකදෝරුවෙක් විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා පුංචි ඡන්දය කල් දමන්නේ නොවැම්බර් 18දාට ජනපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමේ බලාපොරොත්තුවෙන් බව ඇතැමුන් කීවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා ඡන්දයෙන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට වසර හතරෙන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි.
මැතිවරණය කල් දැමූ ආණ්ඩුව වහාම ඇමති මණ්ඩල තීන්දුවක් හරහා මැතිවරණ අපේක්ෂක රජයේ සේවකයින්ට වැටුප් ගෙවිය යුතු බවත් එසේ නොකළොත් ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන රජයේ සේවකයන් නාමයෝජනා දින සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා වැටුප් රහිත නිවාඩු ලබා ගත යුතු නමුත් නාමයෝජනා දින සිට සති 7ක් ඇතුළත මැතිවරණය පවත්වනු ඇතැයි අපේක්‍ෂාවෙන් ඡන්දය ඉල්ලන රාජ්‍ය සේවකයන්ට මාස ගණනක් වැටුප් රහිතව සිටීමට සිදුවීම අසාධාරණයක් බවයි හෙතෙම පවසන්නේ.