රාජ්‍ය ආයතනවල මනා සම්බන්ධීකරණයක් නොවීම හේතුවෙන් ආදායම් කාන්දු වීම්, ආයෝජන ප්‍රමාද සහ නිසි ලෙස විදේශ විනිමය ඉපයීම් සිදු නොවීමෙන් වසරකට ඩොලර් කෝටි 100 ඉක්මවන මුදලක් රටට අහිමි වන බව වාර්තා වේ.
ඍජු විදේශ ආයෝජන, අපනයන වෙළෙඳාම සහ විදේශ විනිමය ඉපයීම් යනාදි ක්ෂේත්රවල සේවා සපයන රාජ්‍ය ආයතනවල තොරතුරු පද්ධතිය එකිනෙකට මනාව සම්බන්ධීකරණය නොවීම හේතුවෙන් වසරකට මෙරටට අහිමි වන මේසා විශාල මුදල නැවත රටට ලබාගැනීමට හැකි වැඩපිළිවෙළක් සකසන්නැයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට යෝජනා කොට තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නැතිව තොරතුරු පැවතීම මත විවිධ ජාවාරම්, සොරකම්, වංචා, කොල්ලකෑම්, වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම්, ව්‍යාජකරණ ක්‍රියාවලි සහ තවත් අක්‍රමිකතා රාශියක් හේතුවෙන්ද ආයෝජන ගෙන්වීමට පහසුකම් සපයන ආයතන අතර පවතින ප්‍රමාද සහ මන්දගාමි ස්වරූපය මතද මෙරටට මුදල් ලැබීම අහිමි වනු වනු ඇත.
මෙවැනි ආදායම් කාන්දු වීම් වැළැක්වීම සඳහා ඊ-රාජ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සමඟ ‘National Trade facilitation Platform’ සංකල්පය ක්‍රියාත්මක කරන්නැයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට යෝජනා කොට තිබේ.
මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවක් ඉකුත්දා පැවැත්විණි. ඒ සඳහා ඩගැන් නෙට් (මැලේසියාව), ඩයලොග් ආසියාටා (ශ්‍රී ලංකාව), ඩබ්ලිව්-ටෙක් ග්ලෝබල් (ශ්‍රී ලංකාව) කේල් ලොජිස්ටික්ස්/ තාක්ෂණ ආයතනය (ඉන්දියාව) යනාදි සන්නිවේදන හා තාක්ෂණික ආයතන ප්‍රධානීන් සමඟ මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන, නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක යන මහත්වරු එක්ව සිටියහ.
ඊ-රාජ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේම නව යෝජනාව ක්‍රියාත්මක වීමත් සමඟ රටට අවශ්‍ය ඍජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සහ අපනයන වෙළෙඳාම නැංවීම සිදු වනු ඇත. එමෙන්ම විදේශ විනිමය ඉපැයීම්වල වර්ධනයක් ද ඇතිවේ. එම අරමුණින් යුතුව මෙම සාකච්ඡාව පැවත්වූ බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ පිහිටීම සහ රටේ සම්පත් භාවිතයෙන් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ මාලදිවයිනට පමණක් නොව මැදපෙරදිග, නැඟෙනහිර අප්‍රිකාව සහ දකුණු අප්‍රිකාව ඇතුළු අග්නිදිග ආසියාවටම පිවිසීමේ උපාය මාර්ගික දොරටුවක් විවෘත කර ගැනීම පිළිබඳව සහ එහි වැදගත්කම මේ සාකච්ඡාවේදී කතිකා කොට ඇත.