― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරුපියල ශක්තිමත් වීමත් සමඟ ඩොලර් රුපියල් කිරීමට විශාල පිරිසක් පෝලිමේ එයි

රුපියල ශක්තිමත් වීමත් සමඟ ඩොලර් රුපියල් කිරීමට විශාල පිරිසක් පෝලිමේ එයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම තුළ ඩොලරයේ අගය පහළ යමින් තිබීම හේතුවෙන් තමන් සන්තකයේ පවතින ඩොලර් වහ වහා රුපියල් බවට පත් කර ගැනීමට විශාල පිරිසක් විනිමය හුවමාරු මධ්‍යස්ථානවලට පැමිණීමත් සමඟ විනිමය හුවමාරු මධ්‍යස්ථානවල දැඩි කාර්යබහුල තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අයුරු ඊයේ (9) දක්නට ලැබිණි.

මෙරටට ලැබීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් විශ්වාසය තහවුරු වීමත් සමඟ රුපියල ශක්තිමත් වීම හේතුවෙන් ඊයේ (9) වන විට මහ බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 313.77ක් සහ විකුණුම් මිල රු. 331.05ක් ලෙස සටහන් වී තිබුණත් පෞද්ගලික විනිමය හුවමාරු මධ්‍යස්ථානවල ඊයේ (9) ඩොලරයේ ගැනුම් මිල වූයේ රු. 308කි. එම මිලට ගනු ලබන්නේද ඩොලර් 100කට වැඩි ප්‍රමාණයක් ඇත්නම් පමණක් බව අපට දක්නට ලැබිණි. මෙසේ අඩු මිලට හෝ ඩොලර් විකුණා දමන්න උත්සාහ කරන්නේ නොයෙක් උණ්ඩියල් සහ හොර පාරෙන් මෙරටට ලැබුණු ඩොලර් වීමට පුළුවන.

මෙලෙස මහ බැංකුවේ සටහන් මිලට වඩා තමන් සතු ඩොලරය අඩු මිලට හෝ ඔවුන් විකුණා දැමීමට උත්සාහ දරන්නේ ඉදිරියේදී තව තවත් රුපියල ශක්තිමත් වීම හේතුවෙන් ඩොලරයේ ගැනුම් මිල තව තවත් අඩු වන බව පවසමිනි.

ඩොලරය මෙයට සතියකට පෙර තිබුණේ රුපියල් 358.45කටය. මේ වන විට රුපියල ශක්තිමත් වීමත් සමඟ ඩොලරය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී.

සමහර පෞද්ගලික විනිමය හුවමාරු මධ්‍යස්ථානවල ගමන් බලපත්‍රය නැතිව ඩොලරය මාරු කිරීමට මැ‍ළි බවක් දක්වන ස්ථාන මෙන්ම අනිවාර්යයෙන්ම ගමන් බලපත්‍රය ඉල්ලා සිටින ස්ථානද අපට දක්නට ලැබිණි. මෙයට හේතුව මෙම ඩොලර් ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට යම් අපහසුතාවට ලක් වීමට ඉඩ ඇතැයි සිතන බැවිනි. ඩොලර් සතු පුද්ගලයන් විනිමය හුවමාරු මධ්‍යස්ථානවල ඩොලර් ගැනුම් මිල අසා තවත් ස්ථාන වෙත ගමන් කරන අයුරු දක්නට ලැබුණු අතර, ඔවුන් එසේ කරන්නේ වැඩිම මිලට ඩොලරය මිල දී ගන්නා ස්ථානයට තමන් සතු ඩොලර් ටික විකුණා දැමීමටය.