― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපැෆ්රල් සංවිධානයෙන් අගමැතිට ලිපියක්

පැෆ්රල් සංවිධානයෙන් අගමැතිට ලිපියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට ප්‍රධාන බාධකයක් ලෙස රජය පෙන්වාදෙන මූල්‍ය ගැටලුවට විසඳුමක් කිසියම් පාර්ශ්වයක් විසින් සපයනු ලබන්නේ නම් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය සූදානම් යන්න සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් විමසීමක් කර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්.

දැනටමත් අරඹා ඇති සීමා නීර්ණය හාරහා කොට්ඨාස ප්‍රමාණය හා සභිකයන් අඩු කිරීම සමග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මැතිවරණ ක්‍රමය කුමක්ද යන්න සම්බන්ධයෙන් ද එම සංවිධානය සිය ලිපිය මගින් ප්‍රශ්න කර තිබෙනවා.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ලිපිය පහතින්.

2023.03.17
දිනේෂ් ගුණවර්ධන මැතිතුමා,
ගරු අග්‍රාමාත්‍ය,
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරස්‍රය,
කොළඹ 07.

ගරු අග්‍රාමාත්‍යතුමනි,

සීමානිර්ණය හා ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධවයි.
මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීම කිසිදු නීත්‍යනුකූල පදනමකින් තොරව දින නියමයක් නොමැතිව කල් යන ආකාරයට ඔබතුමා අග්‍රාමාත්‍ය ධුරය දරණ ආණ්ඩුව විසින් කටයුතු කරමින් සිටින බව පෙනීයයි.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හා රටේ යහපත් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිය යුතු නායකයකු වන ඔබ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන මොහොතක මෙවැනි තත්ත්වයක් අප කිසිසේත්ම අපේක්ෂා නොකලෙමු. ජය පරාජය දෙකම හොඳින් අත්විඳ ඇති සර්වජව ඡන්ද බලයේ වටිනාකම සහ ව්‍යවස්ථාවේ හා පනත් වල ඊට ඇති ප්‍රතිපාදන හොඳින්ම දන්නා නායකයන් දෙදෙනෙකු වන ගරු ජනාධිපතිවරයාත් ඔබතුමාත් නායකත්වය දරද්දී නීතියෙන් බැහැරව ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය පැහැරගැනීමට කටයුතු කිරීම කණගාටුවට කරුණකි. එමෙන්ම බලය උදෙසා රටේ යහපැවැත්මට ඉතා අත්‍යවශ්‍ය සාධකයක් වන ව්‍යස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර සමරබරතාවය බිඳෙන ආකාරයට කටයුතු කිරීම හරහා ව්‍යවස්ථා අර්බුදයක් පැනනැගුණ හොත් කුමන අඩුපාඩු තිබුණද ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් සුරක්ෂිත කිරීමෙහිලා යම් කීර්තියක් දිනාගෙන සිටින රාජ්‍යයක් ලෙස අප ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්වීමේ අවකාශයක් පවතී. එමෙන්ම ජනතාවට සාමකාමීව තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී රාමුව බිඳවැටුනහොත් ඒ හරහා ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳ වගකීමෙන්ද ඔබතුමන්ලාට මිදිය නොහැකි වනු ඇත.

එමෙන්ම මේ වන විට සීමානිර්ණය ඇතුලු මැතිවරණ ප්‍රතිසංස්කරණ ගණනාවක් යෝජනාවී ඇත. එබැවින් පහත සඳහන් කරුණු පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා ලෙස ඔබතුමන්ගෙන් පිළිතුරු අපේක්ෂා කරමු.

  1. ඡන්ද විමසීම පැවැත්වීමට ප්‍රධාන බාධකය ලෙස රජය පෙන්වාදෙන මූල්‍ය ගැටලුවට විසඳුමක් කිසියම් පාර්ශවයක් විසින් සපයන්නේ නම් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය සූදානම්ද?
  2. දැනටමත් අරඹා ඇති සීමානිර්ණය හරහා කොට්ඨාශ ප්‍රමාණය හා සභිකයන් අඩුකිරීම සමග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මැතිවරණ ක්‍රමය කුමක්ද?
  3. එම නව සභික ප්‍රමාණය 50% ක් පමණ (එනම් 4000 ක් හෝ 5000 ක් පමණ) අඩුකරන විට දැනටමත් ඇති කාන්තා කෝටාව හා සම්මත කිරීමට නියමිත තරුණ කෝටාව යන දෙකම 25% බැගින් ඇතුළත් කරන්නේද? ඒ සඳහා අවශ්‍ය එකඟතාවයන් ලබාගෙන තිබේද?
  4. දැනටමත් ආරම්භ කර ඇති ජන සභා වැඩසටහන මෙයට අන්තර්ගත කරන්නේද? ඒ සඳහා වැඩපිළිවෙලක් තිබේද?

අපට පෙනීයන කරුණ වනුයේ මෙම ඉතා සාධනීය ප්‍රතිසංස්කරණ මේ මොහොතේ පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රමාද කිරීමට මෙවලමක් ලෙස භාවිත කරන බවයි. රටේ ආර්ථික අර්බුදයක් ඇති බව අප සියලු දෙනා පිළිගන්නා කරුණක් වන අතර ඒ සඳහා සියලු දෙනා දේශපාලන භේදයකින් තොරව ආර්ථිකය ගොඩනැංවීම උදෙසා එක්ව කටයුතු කල යුතු බව අපගේ විශ්වාසයයි. ඒ සඳහා පැෆ්රල් සංවිධානයේ පූර්ණ සහාය රජයට ලබාදීම අප සූදානම් නමුදු ආර්ථික සාධකය මතුකරමින් ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය යටපත් කිරීමට විධායකය දරන උත්සාහය පරාජය කිරීමට මැදිහත් වන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු. එසේ නොමැතිවුහොත් මෙය ඉතා වැරදි පූර්වාදර්ශයක් ලෙස අනාගත පාලකයින්ද භාවිතයට ගනු ඇත.

මෙයට,
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ