පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් හෙරෝයින් ජාවාරමේ යෙදුන කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 07 යි මිලිග්‍රෑම් 400 ක් සමඟ අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හදුන්නෙත්ති සුසිලා දයාවති නැමැති 52 හැවිරිදි කාන්තාවකි.
මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතාට සහ 211 පාබල බලසේනා මුල්ස්ථානයේ බුද්ධි නිලධාරින් හට ලද තොරතුරක් මත ඊයේ(22) සවස මැදවච්චිය 211 පාබල බලසේනා මුලස්ථානයේ බුද්ධි නිලධාරින් හා පොලිස් බුද්ධි නිලධාරින් එක්ව මැදවච්චිය තැපැල් ස්ථානය අසලදී මෙම වැටලීම සිදු කර ඇත.
එම අවස්ථාව වන විටත් මෙම කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 07 යි මිලිග්‍රෑම් 400 ක් සොයා ගැනීමට ආරක්ෂක නිලධාරින්ට හැකිව තිබේ.
මෙම කාන්තාව විසින් මැදවච්චිය නගරයේ ඉතා දීර්ඝකාලයක් හෙරොයින් ජාවාරම සිදු කර ඇති බවත් කොළඹ ප්‍රදේශයේ සිට හෙරොයින් රැගෙන විත් පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් හෙරෝයින් ජාවාරම සිදු කරමින් සිටි බවත් ආරක්ෂක අංශ සඳහන් කරයි.
ඇතැම් පිරිස් ඇයට ‘මැදවච්චිය කුඩු රැජින‘ යන අනුවර්තන නාමයද භාවිතා කරන බවත් ඇයගේ දරුවන්ද හෙරොයින් ජාවාරමේ නිරත වෙමින් අධිකරණය හමුවේ පෙනී සිටිමින් බන්ධනාගාර ගත කර ඇති බවත් සදහන් වේ.
මෙම කාන්තව දේවා ආරුඩ වන බව පවසමින් දේවාලයක් කරන මුවාවෙන් මෙම කුඩු ජාවාරම සිදු කර ඇතැයි පොලිසිය පවසයි.
සැකකාරණිය මැදවව්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.