ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායම යළිත් පක්‍ෂය හා එක්වන්නේ නම් ඔවුන්ට ඇමති තනතුරු අත්හරින්නට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පක්‍ෂයේ සියලුදෙනා එක්වීම හොඳ දෙයක් වුවත්, ඔවුන් සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගැනීමට සිදුවූයේ පක්‍ෂ තීන්දුවට පටහැනිව ක්‍රියා කළ නිසා බවයි.
ඔවුන් යළිත් පක්‍ෂය සමඟ සාකච්ඡා කර ඇති අතර ඔවුන් යළි පක්‍ෂයට එක්වන්නේ නම් ඇමති ධූර අත්හැර පැමිණිය යුතු බවත් කොටසක් ආණ්ඩුවේත්, කොටසක් විපක්‍ෂයේත් සිටිමින් පක්‍ෂය ඉදිරියට ගෙනයාමට නොහැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
එම කණ්ඩායම සමඟ පැවැත්වෙන සාකච්ඡා හොඳ තැනකට තල්ලු කරගැනීමට උත්සාහ කරගන්නා බවත් එතෙක් දැනට පවත්වන විනය පරීක්‍ෂණ ක්‍රියාවලිය දැනට ඉදිරියට ගෙන යන බවත් ඔහු පැවසීය.
රජය ගෙන ඒමට යන ත්‍රස්ත විරෝධී පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් එහා ගොස් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරන එකක් බව කී මන්ත්‍රීවරයා ඒ සඳහා සංශෝධන ගණනාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බවයි කියා සිටියේ.


