― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalලංගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැමෝගෙම කැපවීම අවශ්‍යයි - බන්දුල

ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැමෝගෙම කැපවීම අවශ්‍යයි – බන්දුල

75වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය මාර්ග වල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම උදෙසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස්රථ 500ක්‌ ධාවනයට කිරීමේ වැඩසටහනේ යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඩිපෝ වෙත නව බස් රථ භාරදීම මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

ඒ යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඩිපෝ 07ක්‌ වෙත නව බස් රථ 26ක්‌ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙන ලදී.

මේ වන විට අදියර කිහිපයක් යටතේ දිවයින පුරා ඩිපෝ වෙත මෙම නව බස් රථ බෙදාදීම ආරම්භ කොට සිදු කෙරෙමින් පවතින අතර අප්‍රේල් මස අවසන් වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ලැබෙන බස්රථ 500 ම මෙරට පොදු ප්‍රවාහන ජාලයට එක් කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ අරමුණයි.

උත්සවය අමතා අදහස් පළ කළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා,

වඩා ජනතාවාදී ප්‍රවාහන සේවාවක් උදෙසා අතීතයේ පැවති ක්‍රමවේද ඒ අයුරින්ම පවත්වා ගනිමින් වර්තමානයට ගැළපෙන ප්‍රවාහන සේවයක් සැපයීමට හැකියාව ලැබෙන්නේ නැහැ. වර්තමානයට ගැලපෙන ආකාරයට ඒවා නවීකරණය විය යුතුයි. වර්තමාන තත්ත්වයට අනුව පාඩු ලබන ආකාරයෙන් පවත්වාගෙන යන සේවාවන් පාඩු නොලබන ආකාරයට පරිවර්තනය කර ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.

ලංකා ගමනාගමන මණ්ඩලය තුළ පවතින ගැටලු එකිනෙක නිරාකරණය කරගනිමින් මෙය ලාභදායී බවට පත් කිරීම සඳහා විශාල වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ගැටලු මධ්‍යයේ වුවත් සේවක පුරප්පාඩු පිරවීම සඳහා රියදුරු, කොන්දොස්තරවරුන් බඳවා ගැනීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ලබාගෙන මේ වන විටත් එහි පත්වී රාශියක් ලබා දීමට‍ අපට හැකියාව ලැබී තිබෙනවා.

අතීතයේදීත් විවිධ ආකාරයේ වර්ජන, තර්ජන ආදී විවිධ ක්‍රියාමාර්ග මගින් ලංගම ප්‍රවාහන සේවාවන් අඩපණ කිරීමට ඇතැම් කඩාකප්පල්කාරී පිරිස් කටයුතු කලා. 88/89 ප්‍රචණ්ඩකාරී කාලය තුළ ලංගම සතු දේපොළ විශාල ප්‍රමාණයක් මෙන්ම සේවකයින් විශාල පිරිසකගේ ජීවිත පවා අවාසනාවන්ත ලෙස අහිමි වුණා.

වර්තමානය තුළ එවැනි ක්‍රියාවන්ට කිසිසේත්ම අප ඉඩ ලබාදෙන්නේ නෑ.නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරනවා. අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති පොදු ප්‍රවාහන සේවය අඩපණ කිරීමට නීති විරෝධී වර්ජන, උද්ඝෝෂණ වැනි කටයුතු වලටසහය නොදෙන ලෙස සියලු කාර්ය මණ්ඩල වලින් ඉල්ලා සිටිනවා.

2025 වසර වන විට ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහාමුදල් අමාත්‍යංශ සමග ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.එම ඉලක්කයට ළඟා වීම සඳහා විශේෂයෙන් ම රියදුරන්,කොන්දොස්තරවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වංචා වලට,අක්‍රමිකතා වලට දායක නොවී අවංකව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. සේවක මණ්ඩලයෙන් ලෙස ඔබට මතුවන ඕනෑම ගැටලුවකට විසඳුම් ලබා දීමට සෑම විටම අප සූදානම්ව සිටිනවා. කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව ආයතනය කාර්යක්ෂමව පවත්වාගෙන යෑම වෙනුවෙන් දක්ෂ නිලධාරීන් අවශ්‍ය තනතුරුවලට පත්කර තිබෙනවා. එම නිසා රාජකාරිය රැකියාවක් ලෙස නොව වගකීමක් ලෙස ඉටුකිරීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙස ඔබ සැමගෙන් මා ඉල්ලා සිටිනවා.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමා, කෝප් කමිටු සභාපති මහාචාර්යරංජිත් බණ්ඩාර මැතිතුමා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මැතිතුමා ඇතුළු ප්‍රාදේශයේ දේශපාලන නියෝජිතයින්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් බස්රථ බෙදා දීමේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.