― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකෝටි 8ක රත්තරන් කොල්ලකයි

කෝටි 8ක රත්තරන් කොල්ලකයි

ව්‍යාපාරිකයෙකුට පහරදී රුපියල් කෝටි 8ක් පමණ වටිනා රන් බිස්කට් කිලෝ 2ක් පැහැර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.

එනම්, කොළඹ උතුර කොට්ඨාසයේ පොලිස් අංශ තුනක පොලිස් නිලධාරීන් 08 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CIDය) ඒ සම්බන්ධ ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඒ අතර උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙක්, පොලිස් සැරයන්වරයෙක් හා පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කරයි.

පොලීසිය සඳහන් කළේ, ව්‍යාපාරිකයෙකුට පහරදී පොලිස් නිලධාරීන් පිරිසක් රත්‍රං කිලෝ ග්‍රෑම් 2ක් පැහැරගත් බව පවසමින් පොලිස්පතිවරයාට නිර්නාමික පෙත්සමක් ලැබී තිබුණු අතර අනතුරුව පුද්ගලයෙකු ඉදිරිපත් වී අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද ගොනුකර ඇති බවයි.

එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, ව්‍යාපාරිකයෙකු වෙන්දේසියකින් ලබාගත් රත්‍රං කිලෝ ග්‍රෑම් 2ක් අලෙවි කිරීම සඳහා මාර්තු 18 වනදා කොළඹ හෙට්ටිවීදියට රැගෙන යන අවස්ථාවේදී නිල් පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් අදාළ ව්‍යාපාරිකයා ගමන් ගත් වෑන් රථය සීදුව ප්‍රදේශයේදී පොලීසියෙන් බව පවසා නවත්වා පරීක්ෂා කළ බවය.

හෙරොයින් මත්ද්‍රව්‍ය ඇත්දැයි පරීක්ෂා කළ යුතු බව පැවසූ පොලීසියේ පිරිස, ව්‍යාපාරිකයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුව ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයකට රැගෙන ගිය බව අදාළ පැමිණිල්ලේ සඳහන් ය. එම අවස්ථාවේදී ඔහු සතුව තිබූ රත්‍රං කිලෝ ග්‍රෑම් දෙකක් පමණ බර රන් බිස්කට් තොගය එම පිරිස තමන්ට පහරදීමෙන් පසුව පැහැරගෙන පළාගිය බවද අදාළ පැමිණිල්ලේ සදහන් කර ඇති බවයි පොලීසිය දැනුම් දුන්නේ.

ඒ අනුව පොලිස්පතිවරයා අදාළ පැමිණිල්ල පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබුණි. පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පැවරෙන්නේ එහි අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතා වෙතය.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කොළඹ උතුර පොලිස් කොට්ඨාසයේ පොලිස් අංශ තුනක පොලිස් නිලධාරීන් 8 දෙනෙකු පෙරේදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි. එහිදී පැය 9ක පමණ කාලයක් විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කරගත් බව සඳහන්ය.

තමන් මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා අදාළ පුද්ගලයා පරීක්ෂා කළ බවත් රත්‍රං පැහැරගැනීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එහිදී පොලිස් නිලධාරීන් පැවසූ බව වාර්තා වෙයි. අදාළ පොලිස් නිලධාරීන් අතර බුද්ධි නිලධාරීන් ද සිටින බව පැවසෙයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අදාළ පොලිස් නිලධාරීන් අනුයුක්තව සිටි අංශ තුනේ තොරතුරු පොත් මුද්‍රා තබා සිය භාරයට ගෙන තිබේ.

අදාළ පැමිණිල්ල සිදුකළ ව්‍යාපාරිකයා වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මසකට 12 වතාවක් පමණ විදෙස්ගතවන පුද්ගලෙයකු බවද පොලීසිය සඳහන් කරයි. ඒ අනුව, ඉදිරියේදී ඔහුගෙන් ද ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය.