― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපේරාදෙණියෙන් සිව් නිවුන් දරු උපතක්

පේරාදෙණියෙන් සිව් නිවුන් දරු උපතක්

කුරුණෑගල, තෝරයාය, අටමුණේ පදිංචිව සිටින පාසල් ගුරුවරියක පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරුවන් බිහිකර තිබේ.

දරුවන් සිව්දෙනා සහ මව මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් ඥානරතන පවසයි. තුසාංගි ලංසකාර නැමැති තිස් හැවිරිදි මෙම පාසල් ගුරුවරිය පිරිමි දරුවන් තිදෙනෙකු හා ගැහැණු දරුවෙකු බිහිකර තිබෙන අතර ඔවුන් කිලෝග්‍රෑම් 1.3 ත් 1.1 ත් අතර බරකින් යුක්ත වීම නිසා රෝහලේ නව ජන්ම ලදරු විශේෂ ප්‍රතිකාර ඒකකයට යොමුකර ඇත.

දරුවන්ගේ පියා වන බුද්ධික හේරත් මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරයි.

මෙම දරුවන් සිව්දෙනා බිහි කළ මව ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවාය.

අපි විවාහ වෙලා අවුරුදු දෙකක් වෙනවා. දරුවෙකු පිළිසිඳගෙන තිබෙන බව දැන ගැනීමෙන් පසු කුරුණෑගල රෝහලට ගියා. එහිදී කළ ස්කෑන් පරීක්ෂණයෙන් ළමයි දෙන්නෙක් කුසේ ඉන්න බව පැවසුවා. පසුව දෙවන වර ස්කෑන් පරීක්ෂණය කරනකොට ළමයි තිදෙනෙක් කුසේ ඉන්න බව පැවසුවා. තෙවන ස්කෑන් පරීක්ෂණයෙන් තමයි දැන ගත්තේ ළමයි හතර දෙනෙක් ඉන්නවා කියලා. මුලින් ලොකු බයක් ඇති වුණා. මගේ ඥාතීන් සියලු දෙනා කිව්වා දරු ප්‍රසූතිය කරන්න හොඳම තැන පේරාදෙණිය රෝහල කියලා. ඒ අනුව තමයි වෛද්‍ය සම්පත් ඥානරතන මහතා හමුවුණේ. මාස පහක් පහු වුණාම සති දෙකින් දෙකට ස්කෑන් කරමින් මාව පරීක්ෂා කළා. ඒ අනුව ඩොක්ටර් මගේ කුසට මාස 08 ක් වෙත්දී දරුවන් සිසේරියන් සැත්කමක් මගින් පිටතට ගමු කියලා කිව්වා. රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මට පුදුම සහයෝගයක් දුන්නේ. ඒ අය සියලු දෙනාට මේ වෙලාවේ ස්තූතිය පුද කරනවා. මගේ කිරි දරුවෝ හතර දෙනාටම දෙන්න ප්‍රමාණවත් නොවන නිසා වෙනත් කිරි දරුවන්ට දෙන්න වෙනවා. ඒවා ඉතා මිලයි. මේ දිනවල පවතින ආර්ථික තත්ත්වයත් එක්ක එවැනි වියදමක් දරා ගන්න අමාරුයි. ඒ නිසා කවුරුන් හෝ උදව් කරනවා නම් අපි ඒක සතුටින් බාර ගන්නවා.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් ඥානරතන, ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය පැතුම් දිසානායක, ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියාංග දෙමටව, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය රෝචන පෙරේරා යන මහත්වරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම සැත්කම සඳහා සහභාගි වී ඇති අතර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබේ.