― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකඳුළු ගෑස් ගැන කෝපා කමිටුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම්දීමක්

කඳුළු ගෑස් ගැන කෝපා කමිටුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම්දීමක්

නවීණ තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි යෝජිත වැඩපිළිවෙල මසක් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා ඊයේ (26) ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දුන්නේය.

2019, 2020 සහ 2021 වසරවල විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂාව සදහා ශ්‍රී ලංකා පොලිසිය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා කමිටුවට) ඊයේ (26) කැඳවූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයා මේ බව පැවසීය. ‍මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි.

පොලිස් දෙපාර්තමේන්තුව මීට පෙර 2016 වසරේදී කෝපා කමිටුව හමුවට කැදවා තිබූ අවස්ථාවේදී මේ සම්බන්ධ නිර්දේශයක් ලබා දී තිබුන ද තවමත් එය ක්‍රියාත්මක නොවීම පිළිබද මෙහිදී ප්‍රශ්න කෙරිණි. පොලිස්පතිවරයා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා පොලිසිය සදහා තනි තොරතුරු තාක්ෂණ පද්ධතියක් සැකසීම අපහසු බැවින් කොටස් වශයෙන් තොරතුරු තාක්ෂණ පද්ධති හදුන්වා දීමට පියවර ගන්නා බවයි. ඒ අනුව පැමිණිල්ලක් ලබා දීමේ සිට අධිකරණ කටයුතුවල තත්ත්වය දක්වා විස්තර ලබා ගත හැකි නව නියමු ව්‍යාපෘතියක් මේ වන විට හැටන් සහ නුවරඑළිය පොලිස් ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක බව පොලිස්පතිවරයා පැවසීය.

මෙහිදී කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ආයතන ඒකාබද්ධ කොට අදාළ තොරතුරු ක්ෂණිකව ලබා ගතහැකි තොරතුරු තාක්ෂණ පද්ධතියක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවයි. ඒ අනුව දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල සහ යෝජිත සැලැස්ම පිළිබද වාර්තාවක් මසක් ඇතුළත කමිටුවට ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා පොලිස් නිලධාරීන්ගේ හිගය ඇතුළු ගැටලු පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. කාන්තා පොලිස් කොස්තාපල් නිලධාරිනියන් 2419 ක පුරප්පාඩු පවතින බවත් 2023 වසරේ මෙම ප්‍රමාණය සම්පූර්ණ කිරීමට යෝජිතව තිබුනත් වත්මන් ආර්ථික තත්ත්වය මත එය සිදුකිරීමට නොහැකි වූ බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී පොලිස්පතිවරයා පවසා සිටියේ පොලිසිය තුළ තිබූ පැරණි තත්ත්වය වෙනස් කොට අනාගතයේ පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන්ට කාන්තාවන් සදහා අවස්ථාව ලබා දීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහිත වැඩපිළිවෙල ආරම්භකොට ඇති බවයි. ඒ අනුව අනාගත කාන්තා පොලිස්පතිවරියක් බිහිවීමට අවස්ථාව සැලසෙනු ඇති බවත් ඒ මහතා පැවසීය.

එසේම පොලිසිය සතු කල් ඉකුත් වූ කදුලු වායු (tear gas)පිළිබදව මෙහිදී අවධානය යොමු විය. කල් ඉකුත් වූ කදුලු වායු අපහරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කොට ඇති බවත් කිසිවිටකත් ඒවා භාවිතා නොකරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු දැනුම් දුන්හ. මේ අනුව ලංකාවේ සියලු පොලිස් ස්ථානවල පවතින කල් ඉකුත්වූ කදුලු ගෑස් අපහරණයට කටයුතු කරන ලෙස කමිටුව උපදෙස් දුන්නේය.

එසේම ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මෙම කදුලු ගෑස් ඇතුළු මහජන කැරලි කෝලහල පාලනයේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ද වාර්තාවක් සකස් කොට කෝපා කමිටුවට ඉදිරිපත් කරන ලෙස කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේය.

පොලිස් නිලධාරීන්ගේ භාෂා කුසලතාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබදව ද මෙහිදි විශේෂ අවධානය යොමු විය. දමිල සහ ඉංග්‍රීසි භාෂා කුසලතාව පොලිස් නිලධාරීන්ට ලබා දීමේ වැඩසටහන් රැසක් මේ වන විට ආරම්භ කොට ඇති බව ජේෂ්ඨ පොලිස් නිලධාරීහු පෙන්වා දුන්හ. එම කටයුතු වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී.

පොලිසියේ උසස්වීම්වලට අදාළ ගැටලු, පොලිස් ත්‍යාග අරමුදල කළමනාකරණය, මාර්ග අනතුරු පාලනය, අපරාධ පාලනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ගැටලු සහ ඒවාට විසදුම් පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය.