― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකුකුල් මස් හා බිත්තර ගැන විශේෂ තීරණයක්

කුකුල් මස් හා බිත්තර ගැන විශේෂ තීරණයක්

කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත යුතු බඩඉරිඟු ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

කුකුළු මස් හා බිත්තර කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යමින් රටේ කුකුළු මස් හා බිත්තර අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීම හා එම නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයා අතට පත් කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

එමෙන්ම සත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩ ඉරිඟුවලින් මේ වනවිට දේශීයව නිෂ්පාදනය කර ඇති ප්‍රමාණයත්, ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ප්‍රමාණයත් ගණනය කර ආනයනය කිරීමට අත්‍යාවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය සම්බන්ධ වාර්තාවක් සකස් කරන ලෙස සාගල රත්නායක කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබුවා.

එම වාර්තාව කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ. සත්ව ආහාර ලෙස යොදා ගන්නා බඩඉරිඟු නිෂ්පාදනය හා එහි මිල ගණන් සම්බන්ධව පවතින ගැටලු කෙරෙහි මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවයෙන් ආනයනය කළ යුතු ප්‍රමාණය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස සාගල රත්නායක උපදෙස් දී තිබෙනවා.

ලෝක වෙළඳපොළේ බඩඉරිඟු මිල පහළ ගොස් ඇති අවස්ථාවලදී ආනයනය කිරීමෙන් දේශීය බඩඉරිඟු අවශ්‍යතාවය අර්බුදයකින් තොරව සපුරාලිය හැකි බව ද මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

දැනට පවතින සහල් අවශ්‍යතාවය ඉක්මවා දේශීය සහල් නිෂ්පාදනය සිදුව ඇති හෙයින් අතිරික්ත සහල්වලින් කොටසක් සත්ව ආහාර සඳහා යොදාගැනීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර සත්ව ආහාර සඳහා සහල් යොදාගැනීම කෙරෙහි රජය විසින් පනවා ඇති සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.

ඒ අනුව රටේ ජනතාවගේ සහල් පරිභෝජන අවශ්‍යතාවයත් මේ වනවිට පවතින සහල් නිෂ්පාදනයත් නිවැරදිව ගණන් බලා පවතින අතිරික්ත සහල් තොග ගණනය කර කඩිනමින් වාර්තාවක් සකස් කරන ලෙසටයි සාගල රත්නායක කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේ.

අතිරික්ත සහල් තොග මේ සඳහා යොදා ගැනීමෙන් වී ගොවියාගේ වී මිල අඩු නොවී ස්ථාවරව පවත්වා ගෙන යාමටත්, සත්ව ආහාර සඳහා ආනයනය කළ යුතු බඩ ඉරිඟු අවශ්‍යතාවය අඩුකර ගැනීමට ඇති හැකියාවත් මෙහිදී පෙන්වා දුන් අතර එමඟින් බඩඉරිඟු ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.