― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසුනාමියක් එන බව දැනුම්දීමට අලුත් ක්‍රමයක්

සුනාමියක් එන බව දැනුම්දීමට අලුත් ක්‍රමයක්

සුනාමි අනතුරු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ජංගම දුරකථන සඳහා නාද රටාවක් (Ringtone) හඳුන්වා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා තිබේ.

මෙරට ජනගහනයෙන් සියයට 99.9කටම ජංගම දුරකථනයක් පවතින බැවින් ජංගම දුරකථනයේ නාද රටාවක් හරහා සුනාමි අනතුර පිළිබඳව මෙහිදී දැනුවත් කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ පැවසීය.

දුරකථන සමාගම් එක්ව මෙම කටයුත්ත සිදු කරන බවද ඔහු කීවේය. අලුයම 1 ත් 4 ත් අතර කාලයේදී බහුතරයක් නිදාගෙන සිටින කාලය බැවින් එම කාලයේදී සුනාමි අනතුරක් පිළිබඳව තොරතුරක් ලැබුණහොත් සියලුම ජංගම දුරකථන නාද කිරීමේ ක්‍රමවේදයක් සකස් කෙරෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

මෙරට මුහුදුබඩ ප්‍රදේශයන්හි ස්ථාපිත කොට ඇති සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා කුලුනු සක්‍රිය තත්ත්වයේ නොතිබුණහොත් ඉදිරියේ අනතුරුදායක තත්ත්වයක් උද්ගත විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පසුගියදා පැවසීය.

මේ අතර ඉකුත් 2020 වසරේ සිට මේ දක්වා වූ කාලය තුළදී මෙරට භූමි කම්පා 48 ක් සිදුවී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩ බලන) එම්.එම්.ජේ.පී. අජිත් ප්‍රේමා පැවසීය.

භූමිකම්පා අවදානම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය. ඉකුත් 2020 වසරේදී භූ කම්පන 16 ක්ද, 2021 වසරේදී භූ කම්පන 18 ක්ද, 2022 වසරේදී භූ කම්පන 05 ක්ද, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළදී භූ කම්පන 09 ක්ද වාර්තා වන බව වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම් භූ කම්පන රැසක් සුළු කම්පන බවත් මෙලෙස භූ කම්පන වරින් වර ඇතිවීමට බලපාන ලද කාරණා පිළිබඳව සොයා බලන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ වසරේ පෙබරවාරි 10 වැනිදා බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන දෙකක්ද, පෙබරවාරි මස 11 වැනිදා වැල්ලවාය ආශ්‍රිතවද, පෙබරවාරි මස 22 වැනිදා බුත්තල සහ වැල්ලවාය ආශ්‍රිතවද, මාර්තු මස 18 වැනිදා කිරින්ද මුහුදු කලාපය ආශ්‍රිතවද, මාර්තු මස 19 වැනිදා ගෝමරන්කඩවල ප්‍රදේශය ආශ්‍රිතවද, මාර්තු මස 24 වැනිදා සෙල්ල කතරගම ප්‍රදේශය ආශ්‍රිතවද, මාර්තු මස 30 වැනිදා බේරුවල මුහුදු කලාපය ආශ්‍රිතවද, අප්‍රේල් මස 12 වැනිදා මොණරාගල ප්‍රදේශය ආශ්‍රිතවද, අප්‍රේල් මස 24 වැනිදා හම්බන්තොට ආශ්‍රිත මුහුදු කලාපයේද භූ කම්පන තත්ත්වයන් වාර්තා විය.