― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකළුතර සිසුවියගේ අභිරහස් මරණයට සැකකාර තරුණයා අල්ලයි

කළුතර සිසුවියගේ අභිරහස් මරණයට සැකකාර තරුණයා අල්ලයි

කළුතර ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක තෙවන මහළින් වැටී අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසියට හැකිව තිබෙනවා.

ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි මෙම සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහට ලද තොරතුරක් මත හික්කඩුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙලෙස අභිරහස් ලෙස මියගිය පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනෙකු සහ තරුණියක් සමඟ කළුතර ප්‍රදේශයේ ලැඟුම්හලකට පසුගිය 06 වනදා පස්වරු 6.30ට පමණ පැමිණ තිබුණා.

පසුව ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලයෙන් කාමර දෙකක් වෙන්කරගෙන තිබූ අතර එලෙස කාමර දෙකක් වෙන්කර ගත්ත ද සිව්දෙනාම එක් කාමරයක සිට මත්පැන් පානය කරන බව ලැඟුම්හලේ සේවකයෙකු දැක ඇති බවයි තොරතුරු අනාවරණය වුණේ.

පසුව අදාළ පිරිසෙන් එක් තරුණියක් සහ තරුණයෙක් ලැඟුම්හලෙන් පිටත්ව ගොස් ඇති අතර ඉන් මිනිත්තු 20කට පමණ පසු අනෙක් තරුණයාත් කලබලයෙන් මෙන් ඉන් පිටතට යන අයුරු සේවකයන් දැක තිබෙනවා.

අදාළ ලැඟුම්හලෙන් ආහාර ලබාගැනීමට පැමිණි අයෙකු ලැඟුම්හලට පිටුපස යාබද දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට එහි කාර්ය මණ්ඩලයට පවසා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඒ වන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර – නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි කළුතර ප්‍රසිද්ධ බාලිකා පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක්. පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ සිසුවියට ලැඟුම්හලට පිවිසීමට වයස බාධාවක් වන බැවින් වෙනත් තරුණියකගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඊට පිවිස ඇති බවයි.

එක්වරම කලබලයෙන් ලැඟුම්හලෙන් පිටව ගිය තරුණයා එතැනින් ඉවත්ව ගොස් ඇත්තේ ඊට පෙර ලැඟුම්හලෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් දී හදිසියක් බව පවසා ඔවුන් කැඳවාගැනීමෙන් පසුවයි. මිය ගොස් සිටින තරුණිය තුන්වැනි මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ යැයි ප්‍රකාශ කළ ඔහු අනතුරුව මෝටර් රථය නැඟ පළාගොස් තිබුණා.

පසුව අනෙක් තරුණයා සහ තරුණිය දුම්රිය මාර්ගය මත වැටී සිටි තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවත්කර එම ස්ථානයෙන් පිටව ගොස් රාත්‍රි 9.30ට පමණ පොලීසියට භාර වී තිබු බවයි වාර්තා වුණේ.

මේ අතර සිසුවිය ඇතුළු පිරිස හෝටලය වෙත රැගෙන ආ මෝටර් රථයේ රියදුරු ද පොලීසිය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගත් අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු පළාගිය මෝටර් රථය ද සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා.

පසුව එම සැකකරුවන් තිදෙනාම ඊයේ (08) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. ඉන් අනතුරුව පොලිසිය විසින් සිදුකළ දීර්ඝ විමර්ශන වලදීයි සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවා මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.